ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනතා ප්‍රශ්න අමතක කර ආණ්ඩුව ලබාදෙන මාතෘකාවලට හසුවී ඒවා පසුපස දුවමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව විසින් ඒකාබද්ධ විපක්ෂයට විවිධ වර්ගයේ ගුලි එවන බවත්,ඒ අනුව යමින් පසුගිය කාලය පුරාම අර්ජුන් ඇලෝසියස් ගැන කතා කළ බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා අදවනවිට ඒකාබද්ධ විපක්ෂය එම මාතෘකාව අමතක කර කණ්ඩායම්වලට බෙදී ව්‍යවස්ථාව ගැන කතා කරන බව කියා සිටියේය.
මිනුවන්ගොඩ, උඩුගම්පොළදී පැවැති දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ඡන්ම දින සැමරුම් උළෙලට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
“ ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එක ජාතියේ මාතෘකා එවනවා. විපක්ෂයේ ඉන්න අපිත් ජනතා ප්‍රශ්න අමතක කරලා ආණ්ඩුව දෙන මාතෘකාවලට අහුවෙලා ඒවා පස්සේ දුවනවා. ආණ්ඩුව අපට එක එක ගුලි එවනවා. පසුගිය කාලයේම අපි අර්ජුන් ඇලෝසියස් ගැන කතා කළා. අද ඒක අමතක කරලා ව්‍යවස්ථාව ගැන කතා කරනවා. අපි බෙදිලා අපේ අදහස් කියාගන්නවා. අපි මොකටද කලබල වෙන්නේ? තව මේවට කල් තියෙනවා.
පාර්ලිමේන්තුවට ගේන පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි තීන්දු ගන්නේ සාමූහිකවයි. අපි මුලින් නායකයන් කැදවලා තීන්දුවක් අරගෙන ඊට පස්සේ ඒ තීන්දුව අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා අදහස් විමසලා තමයි අවසන් තීන්දුවකට යන්නේ. ඒ නිසා අපි ජනතා ප්‍රශ්න අමතක නොකර ඉදිරියට යා යුතුයි.
මේ අයට ඕනේ වෙලා තියෙන්නේ අපිට මඩ ගහන්න විතරයි. ඒවාට දැන් අධිකරණයත් පාවිච්චි කරනවා. දේශපාලන පළිගැනීම් සදහා නඩු තීන්දු දෙන බව පාර්ලිමේන්තුවේ කරන කතාවලින් පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තුවේ ඉදන් සමහර ඇමැතිවරුන් කියනවා අපි අහවල් දවසේ හිරේ යවනවා, අහවලාට ජම්පර් අන්දනවා කියලා. ඇමැති කෙනෙක් වුණාම කතා කරන්න ඕනේ වගකීමක් ඇතිවයි."