ඒක පුද්ගල ආදායම වැඩි කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී තම පාලන කාලය තුළ දූගී දුප්පත්කමින් තොර, ආර්ථික වශයෙන් ශක්තිමත් ගම්දනව් මේ රට පුරා ඇති කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය පී.බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
2015/2017 මධ්‍ය කාලීන අයවැය යෝජනා සඳහා පළාත් සභා මට්ටමින් අදහස් ලබාගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රැසකගේ සහභාගීත්වයෙන් රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් ශ්‍රවණාගාරයේ අද (29දා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,
"2015/2017 මධ්‍ය කාලීන ආයෝජන සැලැස්ම සහ ඉදිරි අයවැය යෝජනා සකස් කිරීමට පූර්වගාමීව ඒ ඒ පළාත් සභාවල අවශ්‍යතා සහ අදහස් උදහස් විමසමින් මෙවැනි සංවාදයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මීට පෙර වයඹ සහ මධ්‍යම සහ පළාත් සභා සමග මේ හා සමාන සංවාද වට දෙකක් පැවැත්වූවා.
පළාත් සභා ක්‍රමය මෙරට ආරම්භ වී වසර 25ක් ඉක්ම ගොස් ඇතත් ජාතික අයවැය සම්පාදනය සඳහා යෝජනා අදහස් උදහස් ලබාගැනීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පළාත් සභා බලධාරීන් මුණ ගැසෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
ඒ වගේම, රටේ ඒකපුද්ගල ආදායම වැඩි වෙමින් පැවතියත්, එපමණකින් සෑහීමකට පත් නොවී එම ආර්ථික ප්රතිලාභ සාධාරණ ලෙස රට පුරා එක හා සමානව විසිර යාම දැක්ම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙනවා. නමුත්, ජනාධිපතිවරයා මෑතක රට පුරා සිදුකළ සංචාරවලදී ඇතැම් ප්‍රදේශ තවමත් පසුගාමී බව දක්නට ලැබුනෙන් එම පසුගාමී කලාප කෙරෙහි වැඩි බරක් තබමින් සංවර්ධන කටයුතුවලදී එම කලාපවලට වැඩි බරක් යොමු කරන්නැයි උපදෙස් ලබාදී තිබෙනවා.
ඉදිරි අයවැය ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙරටට ඉදිරිපත් කරන දස වැනි අයවැය ලෙසයි. එකී ඓතිහාසිකත්වය සේම රට ශීඝ්‍ර දියුණුවට ලක්වෙමින් තිබියදී රටේ කිසියම් හෝ ප්‍රදේශයක් එම දියුණුවට හසු නොවී ඇත්නම් එම ප්‍රදේශද ශීඝ්‍ර සංවර්ධනයකට දායක කරගැනීම, පළාත් මට්ටමින් මුදල් අමාත්‍යංශය සිදුකරන මෙම සංවාදයන්හි අරමුණ වෙනවා.
සෞඛ්‍යය, අධ්‍යාපන, මාර්ග, විදුලිය මේ කුමන ක්ෂේත්රයකට අදාළව වුවද සැලසුම් සම්පාදනයේදීත් ප්‍රතිපාදන වෙන් කිරීමේදීත් දුෂ්කර ගම් දනව්වලට වැඩි අවධානය යොමුකරමින්, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සඳහා පළාත් සභා ඉදිරිපත් කරන යෝජනාවලට අවශ්‍ය අරමුදල් ලබාදීමට රජය සූදානමින් සිටිනවා" යැයි ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.