කොටි සංවිධානයේ හිටපු ප්රබලයෙකු වූ එමිල් කාන්තන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කොට තිබූ විවෘත වරෙන්තුව හා ජාත්‍යන්තර පොලීසියට නිකුත් කොට තිබූ රතු නිවේදනය ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය නියම කළාය.
එමිල් කාන්තන් නමැත්තාට ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට අවශ්‍ය වී තිබුණද ඔහුට එරෙහිව නිකුත් කොට ඇති විවෘත වරෙන්තුව හා රතු නිවේදනය හේතුවෙන් ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති හෙයින් ඔහුට අධිකරණයට බාරවීම පහසු වනු පිණිස එම නියෝග අවලංගු කරන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සාරංග වාදසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ කොමසාරිස්වරිය එලෙස නියම කළාය.
ත්‍රස්තවාදී සිදුවීම් පිළිබඳ නඩු විමසීම සඳහා රජය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක වන අයිරාංගනී පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන් පත්කරන ලද උසාවිය හමුවේ මෙම නඩුව කැඳවන ලදී.
1998.06.30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුතරදී හිටපු ඇමතිවරයෙකු වන ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනයට කුමන්ත්‍රණය කරන ලදැයිද, ඒ අනුව උල් සහ මොට ආයුධවලින් පහර දී ඔහු ඝාතනය කිරීමට තැත්කරන ලදැයිද එමිල් කාන්තන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මෙම නඩුවේදී මීට පෙර විත්තිකරු ඇප මත මුදාහැර ඇති අතර, එලෙස ඇප මත මුදාහළ පසු විත්තිකරු අධිකරණය මඟහැර පළාගියේය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කොට ජාත්‍යන්තර පොලීසියට රතු නිවේදනයක්ද නිකුත් කෙරිණි.
එලෙස තිබියදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සාරංග වාදසිංහ මහතා ඉල්ලීමක් කරමින් එමිල් කාන්තන් නමැති තම සේවාදායකයාට ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට අවශ්‍ය වී ඇතැයි කීය.
එසේ වුවත් ඔහුට එරෙහිව නිකුත් කොට ඇති විවෘත වරෙන්තුව හා රතු නිවේදනය හේතුවෙන් ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි වී ඇතැයිද, එහෙයින් අධිකරණයට බාර වීම පහසු වීම පිණිස ඔහුට එරෙහිව නිකුත් කොට ඇති එම නියෝග අවලංගු කරන්නැයිද නීතීඥ සාරංග වාදසිංහ මහතා ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු පිළිගත් කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය එමිල් කාන්තන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කොට තිබූ විවෘත වරෙන්තුව හා ජාත්‍යන්තර පොලීසියට නිකුත් කොට තිබූ රතු නිවේදනය ආපසු කැඳවීමට නියම කළාය.
එමිල් කාන්තන් නමැත්තා ලංකාවට පැමිණි විට අත්අඩංගුවට නොගන්නා ලෙස කටුනායක හා මත්තල ගුවන් තොටුපළවල ආගමන විගමන නිලධාරීන්ට, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට, රහස් පොලීසියට සහ ජාතික බුද්ධි කාර්යාංශයට දැනුම්දෙන ලෙසත්, ඔහු පැමිණි බව අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළ මහාධිකරණ කොමසාරිස්වරිය ලංකාවට පැමිණ සති දෙකක් තුළ අධිකරණයට පැමිණ බාරවන ලෙස විත්තිකරුට වැඩිදුරටත් නියම කළාය.