කෝප් කමිටුවේදී හොරු රකින්න එජාපය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු බිමල් රත්නායක මහතා පැවසීය. ජවිපෙ කෝප් සභාපති ධුරය දරණ තාක් කෝප් කමිටුව යොදා ගෙන හොරු රැකීමට කාටවත් ඉඩ නොදෙන බවද හෙතෙම පැවසූයේ ජවිපෙ පක්ෂ කාර්යාලයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය. මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරද්දී ඔහුගේ බෑනාගේ සමාගමට සුවිශාල ලාභයක් ලබා ගැනීමට පහසුකම් සැලසීමත් එමගින් රටට විශාල පාඩුවක් සිදුකිරීමත් පිළිබඳව පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ සිට විශාල කතාබහක් පැන නැගුණා. අගෝස්තු 17වැනිදායින් පසුව ගොඩනැගුණු මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුව එම දූෂිතයන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගත යුතුව තිබුණා. මොකද ආණ්ඩුවට අයත් විශේෂ ආයතනයක් තමයි මහ බැංකුව කියන්නේ. එම දූෂිත ගනුදෙනුවට එරෙහිව මහජන ආන්දෝලනයක් පැන නැගුණා. ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ආණ්ඩුවටත් තිබුණු වගකීමක්. නමුත් ඔවුන් එය කළේ නැහැ. ඒ වෙනුවට අගමැතිවරයා කළේ එජාපයේ පාක්ෂිකයින් තුන් දෙනෙකුගෙන් කමිටුවක් අටවලා වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. එම වාර්තාවෙන් පසුව අගමැතිවරයා කිවුවා එම ගනුදෙනුවේදී දූෂණයක් සිදුවී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ කෝප් කමිටුවට බාර දෙනවා කියලා. ඒ අනුව තමයි, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් කෝප් කමිටුවට එන්නේ. කෝප් කමිටුවට ආවට පස්සේ කමිටුව නියෝජනය කරපු එජාප මන්තී‍්‍රවරුන් මෙම පරීක්ෂණයට බාධා කළා. අපි ඉතා වගකීමෙන් කියනවා, එම පරීක්ෂණයේ වගකීම පැවරුණේ ජනාධිපතිටත්, අගමැතිවරයාටත් ආණ්ඩුවටත්. එය මගහැරියා පමණක් නොව කෝප් කමිටුවේදී හොරු රකින්න එජාපය උත්සාහ කරමින් ඉන්නවා.
මෙය සමස්ත මහ බැංකුව ගැන පරීක්ෂණයක් නොවෙයි. සමස්ත බැඳුම්කර ගැන පරීක්ෂණයක් නොවෙයි. එක් සුවිශේෂී මහ බැංකු බැඳුම්කර දෙකක් ගැන පමණයි මේ පරීක්ෂණය කෙරෙන්නේ. හිටපු අධිපතිවරයාගේ බෑනා වූ අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් ටේරෂරීස් සමාගම අසාමාන්‍ය ලාභයක් ලබාගත්තා. මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීම ගැන අනාවරණය වූ මේ ගනුදෙනුව ගැනයි පරීක්ෂණය කෙරෙන්නේ. හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටු පරීක්ෂණයට වාර්තා තුනක් මත පදනම් වුණා. අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව, හිටපු සභාපති ඩිව් ගුණසේකර වාර්තාව සහ විගණකාධිපති වාර්තාව. ඊට අමතරව කෝප් කමිටුවේ දින 10ක් තුළ මහ බැංකු නිලධාරීන්, වත්මන් අධිපතිවරයා කැඳවලා කරපු පරීක්ෂණ සාක්ෂි සටහන් මෙම පරීක්ෂණය සඳහා යොදා ගත්තා.
මෑත ඉතිහාසයේ කෝප් කමිටුවේ සිදුකළ ගැඹුරුම සාකච්ඡාවයි මහබැංකු බැඳුම්කර ගනුදෙනුව. එවැනි දීර්ඝ සාකච්ඡාවකින් පසුව තමයි කෝප් කමිටුව කෙටුම්පතක් ඉදිරිපත් කළේ. කෝප් කමිටුවේ විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් 26ක් ඉන්නවා. පසුගිය ඔක්තෝබර් 20 සහ 21 දින දෙක කෙටුම්පත නැවත සාකච්ඡා කර සංක්ෂිප්ත කිරීමට කෝප් කමිටුවේ එකඟතාවයක් තිබුණා. එම කෙටුම්පත සකස් වෙන්නේ පරීක්ෂණ සාක්ෂි සටහන් යොදාගෙන කෝප් කමිටුවේ ලේකම් කාර්යාලය විසින් කෙටුම්පතක් ලෙස සකස් කිරීමෙන් අනතුරුවයි. ඒ වගේම ඔක්තෝබර් 25වැනිදා හෝ 25න් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දිනක මහබැංකු බැඳුම්කර පිළිබඳව කෝප් කමිටුවේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුවේ එකඟතාවයක් තිබුණා.
එක්සත් ජාතික පක්ෂය එම වාර්තාව කල් දැමීමේ කුමන්ත්රණයක ඉන්නවා. ඔවුන්ට පුළුවන් නම් අවුරුද්දකින් දෙකකින් කල් දැමීමටයි උත්සාහ කරන්නේ. ඒ උපක්‍රමය කෝප් කමිටුවේ අනෙකුත් මන්තී‍්‍රවරුන් තේරුම් ගත්තා. ඒ නිසයි අපි තීරණය කළේ 25වැනිදා හෝ එම පාර්ලිමේන්තු සතියේ කෙටුම්පත ඉදිරිපත් කරන්න. මොකද මෙම ගනුදෙනුව සිදුවූයේ 2015 පෙබරවාරි මාසයේදී. දැනට මාස 20ක් ගතවෙලා තිබෙනවා. ඒ නිසා 20-21 දෙදින කෙටුම්පත වාක්‍යයෙන් වාක්‍ය සාකච්ඡා කරලා නිර්දේශ, නිගමනවලට එන්න කෝප් කමිටුවේ බහුතරය එකඟතාවයෙන් කටයුතු කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් දූෂිතයින් රැකීමේ උත්සාහයක ඉන්නවා. සකස් කළ කෙටුම්පතේ සාක්ෂි සටහන් ඉවත් කර මහ බැංකුවෙන් නව ලේඛන ගෙන්වාගෙන අලූත් කෙටුම්පතක් හදන්න උත්සාහ කරනවා. සභාපතිවරයා ඇතුළු දූෂණයට එරෙහි මන්තී‍්‍රවරුන් මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන කටයුතු කරමින් ඉන්නවා.