දින සියයේ වැඩපිළිවෙළින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කළත්, විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට සාපේක්ෂව පාර්ලිමේන්තු ක්රමයේ වෙනසක් ඇතිවිය යුතු බවත්, එසේ නොමැතිව එ.ජා.ප.ය පවසන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයට හෝ අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නොමැති බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් එම සංවිධානයේ ප්රතිසංවිධාන කමිටුවේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය
ඊයේ (02දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ නමින් වෙනස් වී තිබෙන බවයි.
මේ අනුව නිදහස් පක්ෂ තරුණ සංවිධානයට අනුබද්ධිත පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නිල් බළකාය හා තාරුණ්‍යයට හෙටක් යන සංවිධානද මේ වනවිට අහෝසි වී තිබෙන බවත්, එම සංවිධානවල සාමාජිකත්වය දැරූ සියලුම දෙනාම තරුණ පෙරමුණ තුළ සාමාජිකයන් වන ලෙසත් එම පෙරමුණ ඉල්ලා සිටියි.
තාරුණ්‍යයට හෙටක් හා නිල් බළකා සංවිධාන ඇති කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් ප්රතිසංවිධාන කමිටු සාමාජිකයෙකු බවත්, ප්රතිසංවිධාන කමිටුව විසින් තරුණ පෙරමුණට තරුණ තරුණියන් ලක්ෂ 05 ක් අලුතින් බඳවාගැනීමට ඉදිරි දිනවල කටයුතු කරන බවත් ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
මැතිවරණ ක්රමයේ වෙනසක් සිදුනොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය යම් හෝ උත්සාහයක් ගනු ලැබුවහොත් එයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජන කරන තරුණ කණ්ඩායම් ඇතුළුව අනෙකුත් සාමාජිකයන් පෙළගස්වන බවද හෙතෙම පවසා සිටියේය.