මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාව සඳහා කෝප් කමිටුව නියෝජනය කරන ලද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් යොදන ලද පාද සටහන්වල කිසිදු දෝෂයක් නොමැති බවට බැඳුම්කර කොමිසම නිගමනය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දෙයි.
හෙතෙම මේ බව පෙන්වා දුන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොමිසම වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සත්‍ය හා අසත්‍යතාව නිගමනය කිරීම සහ ගතයුතු ක්‍රියාමාර්ග තීරණය වන බවත්, ඒ අනුව එම තත්ත්වයන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස කිසිදු මැදිහත් වීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.
මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දක්වා සිටි අමාත්‍යවරයා,
අර්ජුන් ඇලෝසියස් කියන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ගෝලයා. නාමල් රාජපක්ෂගේ කිට්ටුම මිත්‍රයෙක්. පරණ හොරා අලුත් ආණ්ඩුව ආවට පස්සෙත් හොරකම් කළා. අර්ජුන් ඇලෝසියස් අපේ කවුරුවත් නොවෙයි. ඔහු අගමැතිවරයාගේ කවුරුවකුත් නොවෙයි. ඔහුව කවුරුත් අරන් ආවෙත් නෑයැයි කී අතර මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්,
එක්සත් ජාතික පක්ෂය විදියට අපි හොඳාකාරවම දන්නවා ආණ්ඩු බලය තිබෙන පාර්ශ්වය අපි. ජනතාව පළාත් පාලන ඡන්දයේදී මනාපය දෙන්නේ පුද්ගලයාට. අපේ අපේක්ෂකයො ඉස්තරම්ම අපේක්ෂකයෝ. ඒකනේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ගමේ අපේක්ෂකයා දිහා බලන්න එපා මගේ මූණ දිහා බලන්න කියලා. අපි කියන්නේ අපේ නායකයා දිහා බලනවා වෙනුවට ගමේ අපේක්ෂකයා දිහා බලන්න කියලා. මේ කඩුල්ල පනිනකොට විවිධ අපේක්ෂකයෝ විවිධ උපක්‍රම අනුගමනය කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කඩුල්ල ළඟට යන්නේ නැතිව ආකාශයේ පාවෙනවා. ජනාධිපතිතුමා රිටි පනින්න යනවා. අපි බොහෝම ශාන්තව අපේ ගමන යනවා යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.