පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් හා ඇමතිවරුන් ඉවත් කිරීමේ එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයට හසුනොවී තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභාමන්ත්රීන්ට දැනුම්දී ඇතැයි 'අද'ට වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස ස්වාධීනවීමට සූදානමක් ඇතැයි පැවසෙන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන්කර තිබේ.
මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව ස්වාධීනව සිටීමට තීරණය කළහොත් පළාත් ප්‍රධාන අමාත්‍යධුර හා අනෙකුත් පළාත් අමාත්‍යධුර එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට ඉඩ තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදීද පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් පිළිබඳව සාකච්ඡා වූ බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එහිදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය,දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙකු ගැන සාකච්ඡා වූ බවද වාර්තා වෙයි.
මේ පිළිබඳව කළ විමසීමකදී බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක සුනිල් ජයමිණි මහතා සඳහන් කළේ, පළාත් සභාවල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වීමට තීරණයක් ගතහොත් එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත වන නිසා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස පළාත් සභාවල කටයුතු කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන්වූ බවයි.
පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යධුර ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවට දැනගන්නට ලැබී ඇති බවත්,බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා මුජිබර් රහුමාන්,එස්.එම්.මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවත් පැවසූ ජයමිණි මහතා, එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉඩ ලබානොදෙන බවදපවසා සිටියේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"ඒකාබද්ධ විපක්ෂයේ දැනට අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් කණ්ඩායමක් වශයෙන් සිටිනවා. අප සමග බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු 42ක් සිටිනවා.ඉන්න ඇමතිවරු එළවලා යූ.එන්.පී. එකට පාර කපන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා.ඇමතිවරුන්ගේ මහඇමතිවරුන්ගේ අඩුපාඩුකම් දුර්වලකම් තිබුණත් අපි ඒගොල්ලො රැකගෙන ඉන්නවා.
රනිල් වික්‍රමසිංහ හදනවා මේක බලෙන් උදුරා ගන්න. මුජිබර් රහුමාන්,මරික්කාර් ඇතුළු කිහිපදෙනෙකු ඉසුර දේවප්‍රිය මහඇමතිතුමා ඉවත් කරන්නත් දැන් කුමන්ත්‍රණයක් යනවා.නමුත් නොයෙක් කටකතා පැතිර ගියත් ස්වාධීන වීමට අපි තීරණයක් අරන් නැහැ.අපි ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කිරීමේ ප්රතිපත්තියක.මහඇමතිතුමාගේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා.නමුත් මහඇමතිතුමා ගැන අපි බලන්නෙ දේශපාලනය පැත්තෙන්.එක්සත් ජාතික පක්ෂය පිටුපස ඉඳන් මෙහෙයවන කුමන්ත්‍රණයට අපි මිනිස්සු පාවා දෙන්නෙ නැහැ.අපි ඒ අය ආරක්ෂා කරනවා" යනුවෙන් පවසා සිටියේය.
බස්නාහිර ප්‍රධාන අමාත්‍යධුරය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ උත්සාහයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගෙන් කළ විමසීමකදී,“එක්සත් ජාතික පක්ෂයට එවැනි සැලැස්මක් මේ දක්වා තිබුණෙනැහැ.අවශ්‍යනම් අපි හදමු.බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ධුරයට ඉසුර දේවප්‍රිය පත්වුණේ යහපාලනයට පිංසිද්ධ වෙන්න.එතුමා එක්සත් ජාතික පාක්ෂිකයන් පාගන්න හදනවානම් එතුමාට යහපාලනය තේරෙන්නෙ නැත්නම් එකපාරක්, දෙපාරක්, තුනපාරක් කිව්වා.දිගින් දිගටම යූ.එන්.පී. කාරයන් පාගලා යහපාලනය විනාශ කරලා දාන්න උත්සාහ කරනවානම් අපිට කටවහගෙන පඹයෝ වගේ පාගගෙන ඉන්න කියලද එතුමා කියන්නෙ.
මහඇමතිවරයා ඉවත් කරන්න කියලා අපි කොහේවත් කියලා නැහැ.අපි කියලා තියෙන්නෙ මහඇමතිගේ හැසිරීම පාලනය කරන්න කියලයි.මහඇමති පිස්සු කෙලින එක නවත්වන්න,මහඇමති යූ.එන්.පී. කාරයන්ට අසාධාරණ කරන එක නවත්වන්න කියලයි.ඒ වෙනුවට යූ.එන්.පී. මහඇමතිකෙනෙක් දාන්න කියලා අපි කියලා නැහැ.අපි ජනාධිපතිතුමා එක්ක තිබුණු සාකච්ඡාවලදීත් දැනුම් දුන්නා, අග්‍රාමාත්‍යතුමාගේ සාකච්ඡාවලදීත් අපි දැනුම් දුන්නා" යනුවෙන් පවසා සිටියේය.