අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීම සඳහා නව රජය දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බැවින් ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්ථාවක් ලබා දෙන්නැයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉල්ලා තිබේ.
2010 වසරේදී පැවති ජනාධිපතිවරණයට දින 2 ක් තිබියදී එනම් ජනවාරි 24 වැනිදා අතුරුදන් වූ දින සිට වසර 5ක් යනතුරු ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීමට පසුගිය ආණ්ඩුවට නොහැකි වූ බව පැවසූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, ඔහුගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු වී බලයට පැමිණ නව රජයද ඔහු අමතක කර ඇතැයි සඳහන් කළාය.
ඝාතනය වූ මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණයක් පවත්වන බවට ඉකුත් දිනකදී රජය ප්‍රකාශ කර තිබුණද, අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධව සඳහනක් නොවූ බවත් ඔහු අමතක කර ගැනීමට සමහරුන්ට උවමනාවක් ඇතැයි එමගින් පැහැදිලි වන බවත් ඇය ප්‍රකාශ කළාය.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වූ දින සිට මේ දක්වා ගතවූ වසර 5 තුළදී තමාට සහ දරු දෙදෙනාට දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වීමට සිදුවූ බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
ඉකුත් සිකුරාදා (23දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිහිකිරීමේ වැඩසටහන සමහර පිරිස්වලට අමතකව තිබුණු බවද ඒ මහත්මිය කියා සිටියාය.