සමස්තයක් වශයෙන් ගත් කළ සෑම වසරකම ලංකාවේ විදුලි ඉල්ලුම 10%කින් වැඩි වී ඇති බවත්, මේ වසරේ එම ඉල්ලුම තවදුරටත් වැඩි වී ඇති අතර, ඒ මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
හෙතෙම මෙම අදහස් පළකළේ, අද (03දා) සවස රඹුක්කන පින්නවල මහා විද්‍යාලයට සූර්යබල විදුලි පද්ධති ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
ආලෝකය සඳහා පමණක් නොව උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවෙන්ද වැඩිවන විදුලි ඉල්ලුම නිසි ආකාරයෙන් සපුරාලීමට හැකි ආකාරයේ උත්පාදන මාර්ගයකට යොමු විය යුතු බවත්, එසේ යොමුවන උත්පාදන මාර්ගයෙන් විදුලිබිල අවම කෙරෙනවා මෙන්ම එය ජාතියටත් වැඩදායි විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ ආකාරයෙන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමට තමන් සූර්යබල සංග්‍රාමය ආරම්භ කළ බවද පැවසූ සියඹලාපිටිය මහතා,
''මෙතෙක් පැවැති අධිකම විදුලි ඉල්ලුම වශයෙන් මෙගාවොට් 2611ක විදුලි ඉල්ලමක් පසුගිය මාසයේදී අපට වාර්තා වුණා. වාර්ෂිකව වැඩිවන විදුලි ඉල්ලුම වගේම පාරිසරික තත්ත්වයන් මත වැඩි වන මෙවැනි විදුලි ඉල්ලුම් අපි ක්ෂණිකව සපුරාගත යුතුයි. මේ වන විට අපි විදුලිය නිපද වීමේ ප්‍රධාන මාර්ගය වශයෙන් ජලය යොදාගෙන තිබෙනවා. මේ වන විට සමස්ත විදුලි උත්පාදනයෙන් 40%ක් නිපදවෙන්නේ ජලයෙන්. ඊට අමතරව විදුලි උත්පාදනය සඳහා ඩීසල් සහ ගල්අඟුරු යොදාගනු ලබනවා. මේ තුළින් වායු දූෂණයක් සිදුවන අතරම අධික මිලක් විදේශයන් කරා යොමු වෙනවා. එසේ වැයවන මුදල් අවම කර ගැනීමට හැකි ආකාරයේ අවම මිලක් සහිත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අපි යොමුවිය යුතුයි. ඒ නිසා තමයි සූර්යබල සංග්‍රාමය සහ සුළංබල මෙහෙයුම ආරම්භ කළේ. මම විෂයභාර අමාත්‍යවරයා වන විට 276,000කට විදුලිය තිබුණේ නැහැ. ඒ පිරිසට විදුලය ලබාගන්න පැවැති අපහසුතාවන් සොයා බලා මම ඒවට පිළියම් යෙදුවා. ඒ අනුව විදුලිය ඉල්ලන 100%කටම විදුලිය සපයා දුන්න, පැය 24ම අඛණ්ඩව විදුලිය සපයන, දකුණු ආසියාවේ එකම රට බවට ලංකාව පත් කරන්න අපට හැකිවෙලා තිබෙනවා'' යැයි පැවසීය.