ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීමට මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කර නොතිබූ හෙයින් සභා රැස්වීම තේ විවේකයෙන් අනතුරුව විනාඩි තුනක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කිරීමට අද (27දා) ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාට සිදුවිය.
පෙරවරු 10.15 ට සභාපති. ඒ එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වූ අතර එහිදී නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් ගලගමආරච්චි මහතා සභාවේ නියමිත ගණ පූරණය නොමැති බව සභාවට දැනුම් දුන්නේය.
මෙහිදී සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා සීනුව තෙවරක් නාද කරන ලෙසට වේත්‍රධාරියාට දැනුම් දුන් අතර, සීනුව නාද කිරීමෙන් අනතුරුවද නියමිත ගණපූර්ණය සභාවේ නොසිටි හෙයින් තේ විවේකයට පෙරවරු 10.45 දක්වා සභාපතිවරයා විසින් කල් තබන ලදී.
තේ විවේකයෙන් පසු නියමිත ගණපූර්ණය සමග යළි පෙරවරු 10.55 ට සභාවේ වැඩ කටයුතු ආරම්භ වූ අතර, සභාවේ න්‍යාය පත්‍රයේ කිසිදු යෝජනාවක් නොතිබූ හෙයින් සභාවේ වැඩ කටයුතු පෙරවරු 10.58 අවසන් වූ අතර ඉන් අනතුරුව සභානායක ර.මු. රත්නායක මහතා විසින් මීළඟ සභා රැස්වීම සැප්තැම්බර් මස 10 වැනිදා පෙරවරු 9.30 ට පැවැත්වෙන බව දැනුම් දෙන ලදී.
ඇල්ල ප්‍රසාද් රුක්මල්