ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ නව ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (29දා) රැස්වූ ඌව පළාත් සභාවට එක්විය.
ඔවුහු යාබද අසුන්වල අසුන් ගෙන සිටි අතර, හිටපු අමාත්‍ය මණ්ඩලය ඔවුන් හිටපු ඇමති පුටුවලම වාඩි වී සිටීම නිසා උණුසුම් කතාබහක් ඇතිවිය.
සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා මෙහිදී පැවසුවේ, හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කර, නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා පත්කර ඇති බව හිටපු ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා විධිමත් අයුරින් සභාවට දන්වා ඇති බවයි.
එහෙත් නව අමාත්‍ය මණ්ඩලය මේ දක්වා නම්කර නැතැයිද ඔහු පැවසීය. මෙහිදී හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ, ඌව පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා පත්කිරීම හිටපු ආණ්ඩුකාරවරයා විසින් නීතියට පටහැනිව සිදුකර ඇති බවයි.
මෙහිදී මන්ත්‍රී (ජ.වි.පෙ) සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ, අධ්‍යාපන ප්‍රශ්නයක් මතු වූ විට යොමුකළ යුත්තේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාටද, නැතිනම් නව ප්‍රධාන අමාත්‍යවරයාටද යන්න ගැටලුවක්ව ඇති බවයි.
ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනානන්දු මහතා පැවසුවේ, නොබෝ දිනකදී නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදුවන බවයි. එවිට මෙම ප්රශ්නය විසඳෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ අසුන නව ප්‍රධාන අමාත්‍යවරයාට ලබානොදෙනු ඇතැයි පැතිර ගිය රාවයක් නිසා ඊට විරෝධය දැක්වීම සඳහා විශාල පිරිසක් පළාත් සභා භූමියට රැස්ව සිටියහ. එහෙත් එවැන්නක් සිදුනොවිණි.