පුද්ගලයා සමග බන්ධනාගාර කොමසාරිස් උසාවි කැඳවයි
සිරදඬුවමකට යටත් වූවෙකු නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කොට මාස දෙකකට අධික කාලයක් ගතවන තුරුත් ඔහු බන්ධනාගාරයෙන් මුදානොහැරීම පිළිබඳව කරුණු දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පෞද්ගලිකවම අධිකරණයට කැඳවා ඇත.
අධිකරණ නියෝග ක්රියාත්මක නොකොට මාස දෙකකට අධික කාලයක් බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ටයිටස් පෙරේරා නමැත්තාද සමග අද දින (15දා) පෞද්ගලිකවම අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙලෙස නියම විය.
තම සේවාදායකයා නිදහස් කරමින්, උසාවිය තීන්දුවක් ලබාදුන්නත් ඔහු නිදහස් කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් මේ දක්වා පියවර ගෙන නැතැයි කියමින් නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කළ පැමිණිල්ලක් සලකා බැලූ අනිල් කරුණාරත්න සහ මාලනී ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස නියම කළේය.
වංචා සිද්ධියකට අදාළව ගංගොඩවිල මහේස්ත්රාත් උසාවිය මගින් ටයිටස් පෙරේරා නමැත්තාට එරෙහිව සිරදඬුවම් නියම කොට තිබුණත්, එම තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කොට තිබූ අභියාචනයක් සලකා බැලූ විනිසුරු මඬුල්ල මහේස්ත්රාත්වරයාගේ තීන්දුව ඉවත දමමින් පෙරේරා නමැත්තා නිදහස් කොට තිබිණි.
ඔහු මුදාහරින ලෙස බන්ධනාගාරයට නියම කොට තිබුණත්, බන්ධනාගාර නිලධාරීන් එම නියෝජනය පිළිපැද නොමැති බවට නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය පැමිණිලි කොට තිබිණි.