බස් වර්ජනයත් අත්හිටුවයි
මගී බස්රථ රියදුරන් විසින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් දඩ කොළයක් නිකුත් නොකර අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය තාවකාලිකව නවතා දැමූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
දඩ කොළයක් ඉදිරිපත් නොකර රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණේ ගෙවීගිය වසර තුනක කාලය තුළ පමණක් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ රියදුරන් විසින් නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධි 1,122,244 ක් සිදුකර තිබීම නිසා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මින් වැරදි 984,917 ක් සිදුකර තිබෙන්නේ පෞද්ගලික බස්රථ විසින් බවත්, වැරදි 137,327 ක් සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංගම බස්රථ විසින් බවත් ඔහු පවසා සිටියේය. මේ වසරේ ගෙවීගිය මාස 8 ක කාලය තුළදී මගී බස්රථ අනතුරු 1873 ක් වාර්තාවන බවත්, ඉන් 119 දෙනෙකු මියගොස් 287 දෙනෙකුට බරපතළ තුවාලද, 509 දෙනෙකුට සාමාන්‍ය තුවාලද සිදුවී තිබෙන බවත්, 800කට අධික රථවාහනවලට අලාභ සිදුව තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගෙවී ගිය මාස 08ක කාලය තුළදී පමණක් නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 172,839 ක් වාර්තා වන බවත්, ඉන් පැමිණිලි 148,986ක් වාර්තා වන්නේ පුද්ගලික බස් රථවලින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් දඩකොළ වෙනුවට අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය තාවකාලිකව නවතා දැමුවද අධික වේගයෙන් එකිනෙකා හඹායන සියලු බස්රථ රියදුරන් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම පවසා සිටියේය.
මේ අතර, මගී බස්රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් දඩකොළ ලබාදීමට හැකි වැරදිවලටද දඩකොළ ලබානොදී අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව හෙට (09දා) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ බස්රථ වර්ජනය තාවකාලිකව නවතා දැමූ බව බස්රථ සේවක සංගම් හා බස්රථ හිමියන්ගේ සංගම් සඳහන් කරයි.