දින කීපයක සිට දඹුල්ල මූලික රෝහලේ ගැබිනි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව්වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවිකරන බවට මව්වරු හා පියවරු චෝදනා කරති. උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවත් ඔවුහු පවසති.
මේ චෝදනා සත්‍යයක්දැයි සොයා බැලීම සඳහා අදාළ වාට්ටුවට ගිය අවස්ථාවේ මව්වරුන් සිය අත්දැකීම විස්තර කළේය. වාට්ටුවේ ප්‍රධාන දොස්තරවරියකගේ උපදෙස් පරිදි මේ නව උපත්පාලන ක්‍රමය අනුගමනය කරන බව හෙළිවිණ.
මේ ක්‍රියාවට මව්වරුන් හා පියවරුන් සිය විරෝධය පළකරන්නට විය. දින ගණනාවක් තිස්සේ ටිකට් කපා ඇති තම බිරින්දෑවරුන් හා දරුවන් නිවෙස් වලට රැගෙන යාමට නොහැකි තැන වාට්ටුවට ගොස් දොස්තරවරුන්ට දොස් නගන්නට වී ඇත. පසුව වාට්ටුවේ පිරිස රෝගීන්ගෙන් අත්සන් ගෙන උපත් පාලන ක්‍රමයට අකමැති බවට ලියවාගෙන ඇත.
ඇතැම් මව්වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකිරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව මව්වරුන් පැවසීය. උපකරණය පැලඳීමට අකමැතිව විරෝධය පළ කළ පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිද වාට්ටුවෙන් එළියට රැගෙන ඒමට නැවත රෝහලට තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශය යොදා බාධා කරන අකාරය දැකගැනීමට හැකිවිණ.
මේ නිසා ටිකට් කපාගත් උපත් පාලනයට අකමැති මව්වරුන් දරුවාත් කොට්ට රෙදි හා බඩුමූට්ටුද තනිවම රැගෙන රෝහලෙන් පිටතට එන්නට සිදුවීමද දැකගත හැකි විණ.
දඹුල්ල රෝහලේ මේ බලහත්කාරයෙන් සිදුකරගෙන යන උපත් පාලන ක්‍රමය පිළිබඳව පියවරු ලිඛිතව රෝහල් බලධාරීන් දැනුවත් කළහ. මේ පිළිබඳව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල මහතා පැවසුවේ, පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහාම ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත්ය. එමෙන්ම රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.