කොටි සංවිධානය සඟවා තිබෙන රත්රන් සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සමග විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව මඩුකන්ද පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා වවුනියාව නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මෙම පිරිසට ඇතුළත් බවත් විශ්‍රාමික හමුදා මේජර්වරයා යුද සමයේ වවුනියාව ප්‍රදේශයේ සේවයේ නියුතු අයෙකු බවත් අනාවරණය කරගෙන තිබේ.
හිටපු හමුදා මේජර්වරයා ඇතුළු පිරිසක් විසින් ස්කෑනර් යන්ත්‍ර යොදා ගනිමින් වවුනියාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පරීක්ෂා කිරීම් සිදුකරන බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථය, ජිප් රථය තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක්ද, ජංගම දුරකථන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දීර්ඝ කාලයක සිට උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක කොටි සංවිධානය විසින් වළදමා සඟවා ඇතැයි පැවසෙන රත්රන් සොයා පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් අද (11දා) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.