බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් උතුරේ ඉදිකරන නිවාස 65,000 මිනිස් වාසයට නුසුදුසු අයුරින් සැලසුම් කර ඇති බව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අදහස වී ඇති බවත් මෙම සැලසුම වෙනස් කරන ලෙසත් උතුරේ දේශපාලනඥයන් අගමැතිවරයාගෙන් ඉල්ලීමට නියමිත බව අද ට වාර්තා වේ.
මෙම නිවාස 65,000 ව්‍යාපෘතියෙහි ආකෘතික නිවාස දෙකක්උතුරේ කෝපායි සහ තෙලිල්පායි ප්‍රදේශයන්හි ඉදිකර තිබේ.
මෙම නිවාසයක් සඳහා රැපියල් ලක්ෂ 21 වැයකිරීමට සැලසුම් කර ඇති අතර නිවසක් වර්ග අඩි 550න් යුක්තව ඉදිකිරීමට නියමිතව ඇති අතර, ඒසඳහා නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ වැසිකිළිද ඇතුළත්ය.
එමෙන්ම විදුලිය නිපදවාගැනීම සඳහා සූර්ය කෝෂ පද්ධතියක්(සොලා ෆැනල්), ජල ටැංකියක්, නිවසට ගැළපෙන ගෘහ භාණ්ඩ, ෆෑන්, ගෑස් උදුනක් සහ සිලින්ඩරයක්, රූපවාහිනියක් මෙන්ම වයිෆයි පහසුකම්ද ලබාදීමට සැලසුම්කර තිබේ.
කෙසේවෙතත් කුමන පහසුකම් ලබාදුන්නද මෙම නිවාස ඉදිකරන ආකාරය අනුව මිනිස් වාසයට නුසුදුසු බව ආකෘතික නිවාස පරීක්ෂාකළ බොහෝදෙනාගේ මතය වී තිබේ. පසුගියදා පැවති යාපනය දිස්ත්‍රික් විදුලි සමාලෝචන හමුවේදී මෙම නිවාස මිනිස්වාසයට සුදුසු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද පවසා තිබේ.
රුපියල් ලක්ෂ 21 න් මීට වඩා හොඳ නිවසක් සෑදීමට හැකි බවද හෙතෙම පවසා තිබේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ සියලුම දේශපාලනඥයන් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමට නියමිතය.