උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාපිත කොට ඇති යුද හමුදා කඳවුරු වත්මනේ ඇතිවී ඇති වාතාවරණය අනුව කඩිනමින් එම ප්‍රදේශවලින් ඉවත් කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (28දා) මහනුවර දී පවසා සිටියේය.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට යුද හමුදාවේ ධජ පූජා කිරීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,
" දේශපාලනයේදී විවිධ අදහස් පළ කළ හැකි නමුත් රටේ ජාතික හා රාජ්‍ය ආරක්ෂාවේ දී රාජ්‍ය මට්ටමින් තීන්දු ගැනීමට සිදුවනවා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක්ලක්ෂ අසූ දහසක භට පිරිසක් මේ වනවිට උතුරේ රඳවා නොමැති අතර එම ප්‍රදේශයේ සිටින සෙබළුන් රටේ අවශ්‍යතාව අනුව එහි රඳවා තැබිය යුතු වෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ජානාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, යුද, ගුවන්, නාවුක යන ත්‍රිවිධ හමුදාවලට හා ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය වැනි ආයතනවලට පැවරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගනිමින් සිටිනවා. රටේ ආරක්ෂාව පිළිබඳව කළ විශ්ලේෂණයට අනුව මෙම භට පිරිස් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යොදා ඇති අතර වත්මනේ පවතින තත්ත්වය අනුව එම භට පිරිස් එහි ස්ථාපිත කර තැබීම සාධාරණ කරුණක්. යුද හමුදාව සටන් කළේ සාමාන්‍ය ජනතාව සමග නොව ත්රස්තවාදීන් සමගයි."යැයි ද පවසා සිටියේය.