උතුරු මහ ඇමති පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව කියයි
දූෂණ චෝදනා එල්ල වූ ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ උපදෙස් පරිදි ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සිදුකරන ලද වාර්තාව ඊයේ (07දා) සභාගත කළ අතර එමගින් පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු දූෂණ හා අක්‍රමිකතා සිදුකළ බව දක්වා තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යරවයා විසින් අදාළ වාර්තාව සභාගත කළ අතර, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේසන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජා මහත්වරුන්ට එල්ලවී ඇති දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මේ තුළ අන්තර්ගත වී තිබේ.
අදාළ වාර්තාව සභාගත කිරීමේදී දූෂණ චෝදනා එල්ලවී ඇති අමාත්‍යවරුන් දෙදෙනා දැඩි විරෝධයක් පළකර තිබේ.
මෙම වාර්තාව සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ඇත්නම් මේ මස 14 වැනිදාට පෙර ලිඛිතව දක්වන ලෙස අදාළ අමාත්‍යවරුන්ට ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙම වාර්තාව මේ මස 14 වැනිදා පළාත් සභාවේදී විවාදයට ගන්නා අතර, එයට සියලුම මන්ත්‍රීවරුන් සභභාගි විය යුතු බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය. විවාදයෙන් පසුව අදාළ අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටද නියමිතය.
විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුතුව පත්කළ ත්‍රිපුද්ගල කමිටුවකට පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා උපදෙස් ලබාදී තිබිණි.
අදාළ වාර්තාව මැයි මාසය අවසානයේදී ප්‍රධාන අමාත්‍යවරයාට බාරදී ඇති අතර, එය පිටු 82කින් යුතු වාර්තාවකි.