කොටි නායක ප්රභාකරන් නිතරම තුවක්කුව කෙරෙහි විශ්වාසය තැබූ අයෙකු බවත් නිරායුද වීමට දැක්වූ බිය නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වූ බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායිකා තමිලනී මිය යාමට පෙර ලියන ලද පොතකින් හෙළිකර ඇත.
‘ඔරු කුර්වාලින් නිලලිල්' හෙවත් 'තියුණු අසිපතක සෙවණැල්ලේ' යන ග්‍රන්ථය මගින් කොටි නායිකා තමිලනී විසින් ප්රභාකරන්ගේ රහස් තොරතුරු හෙළිකර ඇති අතර, මීට අමතරව ‘පෝර්ක් කාලම්' හෙවත් 'යුද සමය' යනුවෙන්ද ග්රන්ථයක් තමිලනී ලියා ඇති අතර මෙම ග්රන්ථ ඊයේ (20දා) කිලිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේදී එළිදක්වනු ලැබීය.
තමිලනී මිය යාමට පෙර ලියන ලද මෙම ග්රන්ථ දෙක එළිදක්වා තිබුණේ ඇයගේ සැමියා වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි එස්. ජෙයකුමාර් නමැත්තා විසිනි.
‘ඔරු කුර්වාලින් නිලලිල්' ග්රන්ථෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ප්රභාකරන් තුවක්කුව අත්හැරීමට දැඩි මැලිකමක් දැක්වීම නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වීමට බලපෑ අතරම ප්රභාකරන් සෑමවිටම සිය ආරක්ෂාව පිළිබඳව දැඩි සැකයකින් පසුවූ බවටත් සාම ගිවිසුමේ ප්‍රතිඵලය නිරායුධ වීම බවටත් එය අනාරක්ෂිත වීමක් බවටද ප්රභාකරන් අවධාරණය කරගෙන සිටි බවටයි.
එමෙන්ම තමිලනී විසින් එම ග්රන්ථයේදී අවසන් යුද්ධය පරාජය වීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක්ද පෙන්වා දී ඇත.
වසර 30 ක් තිස්සේ අඛණ්ඩව යුද්ධයට පෙළඹවීමෙන් කොටි සාමාජිකයන් දැඩි වෙහෙසකින් සිටි බවටත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තරයට පිවිසීම මෙන්ම හතර වැනි ඊළාම් කොටි අණදෙන නිලධාරීන් වයස 45ත් 50ත් අතර කිලෝමීටරයක් දුරටවත් දිවීමට නොහැකි වයස්ගත තත්ත්වයේ සිටීම වැනි කාරණාවන්ය.