ජීවිත 25ක් බිලි ගනිමින් ඊජිප්තුවේ, කයිරෝ නුවර ආසන දෙව්මැදුරකදී පුපුරාගිය බෝම්බ ප්රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් බාරගෙන තිබේ.
එරට ඔර්තඩොක්ස් පල්ලියේ ප්රධාන ආසන දෙව්මැදුර තුළ සිදුවූ ප්රහාරය තම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්රහාරයක් බව ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්රහාරය සිදුකළ පුද්ගලයා වයස අවුරුදු 22ක ෂෆීක් මහමූද් මොහොමඩ් මොස්තෆා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටාහ් අල්-සිසී විසින් මීට පෙර අනාවරණය කර තිබුණි.
එමෙන්ම, මෙම ප්රහාරය සියලු ඊජිප්තු ජාතිකයන් තුළ වේදනාවක් ඇති කළ බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.
කෙසේ වෙතත්, IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය මෙම ප්රහාරකයා නම් කර ඇත්තේ අබු අබ්දුල්ලාහ් අල්-මස්රි යනුවෙනි.
මේ අතර, ජනාධිපතිවරයා විසින් මියගිය පිරිස සිහි කරමින් රට තුළ දින තුනක ශෝක කාලයක්ද ප්රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2013 වසරේ සිට ඊජිප්තුව තුළ ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ ප්රහාර මාලාවක් වාර්තා වූ අතර, එරට සුළුතර කිතුණුවෝද වරින්වර අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වූහ.