සංවිධානාත්මක අපරාධ, පාතාලය හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලුම පියවර ගැනීමට කටයුතු කරගෙන යන බවත්, ඒ සඳහා කිසිවිටෙකත් පසුබට නොවන බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හබරාදුවේදී පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ හබරාදුව නගරයේ ඉදිකෙරෙන පොලිස් නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමිනි.
එහිදී සාගල රත්නායක මහතා මෙසේද පැවසීය,
“මත්ද්‍රව්‍ය අද රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා, මේ වනවිට ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මධ්‍යස්ථානයක් හැටියටත් පාවිච්චි වෙනවා. ඒ මගින් සමහර මත්ද්‍රව්‍ය අපේ රටටත් ඇවිත් රට පුරාම සංසරණය වෙනවා. මේ රට මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වෙන එක නැවැත්වීම ජාත්‍යන්තර වශයෙන් අපේ වගකීමක්. මේ ජාලයන් දෙකම අපි කඩනවා. ඒ දෙක කැඩුනොත් කුඩා ප්‍රමාණයේ බෙදාහැරීම් කරන්න අවශ්‍ය මත්ද්‍රව්‍ය නැති වෙනවා. මේ දෙකටම අපි වැඩපිළිවෙළක් හදලයි තියෙන්නේ. එහි එක් පියවරක් ලෙස තමයි 2016දී වැටලීමකින් අල්ලාගත් මත්ද්‍රව්‍ය තොගයක් විද්‍යානුකූලව විනාශ කිරීම සිදු කළේ. ඉදිරියේදීත් එකතුවෙන මත්ද්‍රව්‍ය මෙලෙස විද්‍යානුකූලව විනාශ කිරීමට බලාපොරොත්තු වෙනවා”.
ඉදිකෙරෙමින් පවතින නිවාස සංකීර්ණය සම්බන්ධවද අමාත්‍යවරයා මෙසේ පැවසීය,
“පොලිස් නිලධාරීන් සඳහා ඉදිකරන මෙම නිවාස සංකීර්ණයේ නිවාස 192ක් තිබෙනවා. මෙය ඉතා ඉක්මනින් ඉදිකර නිවාස අවශ්‍යතා පවතින නිලධාරීන් සඳහා ලබාදීමයි අපේ අරමුණ. පොලීසියෙන් ඉතා ඉහළ සේවයක් අපි බලාපොරොත්තු වන අතරම අපි පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න දිහාත් බලනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිකළා. රාජකාරි හොඳින් කරන්න අවශ්‍ය උපකරණ හා තාක්ෂණය ලබාදීමට කටයුතු කළා. විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ බැරැක්ක හා විවාහක නිවාස සම්බන්ධයෙන් අපි පියවර රාශියක් ගත්තා. පොලිස් බැරැක්ක අලුත්වැඩියා කළා. වැකුණුගොඩ තට්ටු නිවාස 100ක් මිලදීගෙන පොලීසියට භාර දුන්නා. කොළඹ මහල් 12ක නිවාස සංකීර්ණයක් ඉදිකරන්න මුල්ගල් තිබ්බා. මේ විධියට අපි පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය සම්බන්ධව විශාල වැඩ කොටසක් සිදුකරමින් පවතිනවා.”
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට