අවුරුදු දෙක තුනක් තම පිරිස ඉවසීමෙන් සිටි බවත් දුප්පත් ජනතාවට දැනෙන ලෙස ප්රතිලාභ ලැබිය යුතු බවත් සේනානායක පරපුර රටට කළ සේවය තමන්ට සිදුකිරීමට ආණ්ඩුවේ ඉහළ පිරිස් ඉඩ නොදෙන බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
ඒ පොළොන්නරුවේ අරලගන්විල කන්දේගම ප්‍රදේශයේ ගොවි පවුල් 250ක් සඳහා උදලුතල ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ මම තවම ඉන්නේ එක ස්ථාවරයක. අපි ආණ්ඩුවේ ඇමතිවරු විදිහට හිටියට මදි අපි අපේ මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරන්න ඕනේ. අපේ ආණ්ඩුව ගමට ගෙන්න ඕනේ. පක්ෂය ආණ්ඩුව දෙකම ගමට ගෙනෙන සටනේ තමයි මම ඉන්නේ. මම මගේ පරම්පරාව මේ රටට කරපු විදිහේ සේවයක් කරන්න බලාපොරොත්තු වුණත් මේ වන විටත් මගේ අත් දෙක බැඳලා තියෙන්නේ. ඒ බැඳලා තිබ්බත් කොහොම කොහොම හරි මට කරන්න පුළුවන් දේ ජනතාව වෙනුවෙන් බැඳපු අත් දෙකින් කරනවා. ඉතින් මට මතකයි මේ ආණ්ඩුව ගන්න මුලින්ම මම තමයි එළියට බැස්සේ. පුද්ගලිකව සමහරු වගේ මම ඩීල් දාගෙන ගියේ නෑ. හරි නිවැරදි ප්‍රතිපත්ති එක්ක ගියේ. මගේ පෞද්ගලික වරප්‍රසාද ලබා ගන්න නෙමෙයි. අහිංසක මිනිසුන්ට යමක් කරන්න. මහජනතාව සේනානායක නමට ගරුකරනවා. ඉහළ ඉන්න දේශපලඥයන්ට ඉරිසියයි. මාව කපනවා කියන්නේ පොළොන්නරුවේ ඉන්න අහිංසක ජනතාවට වැඩ කරන්න තියෙන දේ නැති කරනවා කියන එකයි “ යැයි පවසා සිටියේය.
පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්