ශ්‍රී ලංකාවට ඉස්ලාම් ආගම රැගෙන ආවට ගැටලුවක් නොමැති නමුත් අරාබි සංස්කෘතිය ශ්‍රී ලංකාවට නොගෙන එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මේ බව අද (01දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ශ්‍රී ලංකේය සංස්කෘතිය බවත් ඔහු පැවැසීය.
එසේම ඉස්ලාම් මෙන්ම බෞද්ධාගමේ ඇතැම් පිරිස් ෆේස් බුක් හරහා වීරයන් බවට පත්වීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය. ඒ කිසිවෙකුට තම ආගමේ දහම පිළිබඳව කිසිදු දැනීමක් නොමැති බවත් අන්තවාදය උපයෝගී කරගෙන පසුව දේශපානයට පිවිසෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ වන විට බංග්ලාදේශයේ ඉස්ලාම් ආගම හා සංස්කෘතිය පිළිබඳව මතභේදයක් ඇතිව ඇති බවත් ඉස්ලාම් ආගම හා බංග්ලාදේශ සංස්කෘතිය එක්කර ගනිමින් ඔවුන් ඉදිරියට යෑමට තීරණය කර ඇති බවත් පැවැසීය.
එසේම දේශපාලනයට පැමිණීමේදී එහි හරය පිළිබඳව දැනගත යුතු බවත් ක්‍රීඩකයන් දේශපාලනයට පැමිණීම අවුලක් බවත් ඔහු සඳහන් කළේය.