මේ දිනවල දකුණු පළාතේ පැතිර යන උණ රෝගය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු නොකරන්නේ නම් එය රෝගය උග්‍ර වීමට හේතුවක් වන බවත් මාසයකට වැඩි කාලයක් මෙම රෝගය නිසා රජයේ රෝහල්වලට ඇතුළත් කළ දරුවන් 21 දෙනෙක් මරුමුවට පත්ව ඇති බවත් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා එසේ පැවසූවේ පෙරේදා (04දා) මාතරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැකවූ හිටපු අමාත්‍යවරයා,
“මේ දිනවල දකුණු පළාතේ පැතිරි යන උණ රෝගය ඉන්ලුෆ්වන්සා ඒ වෛරසයෙන් රෝගය බෝවෙනවා කියලා සොයාගෙන තිබෙනවා. මාසයකට වැඩි කාලයක් මෙම රෝගය නිසා රජයේ රෝහල්වලට ඇතුළත් කළ දරුවන් 21 දෙනෙක් මරුමුවට පත්ව තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික රෝහල් තුළට ඇතුළත් කළ දරුවන් පිළිබඳ තවමත් අපි තොරතුරු සොයා යනවා. ඒ වගේම ඈත පිටිසර ගමම්මානවල දරුවන් මේ රෝගයට ගොදුරු වුණාද නැද්ද කියන කාරණය වාර්තා වන්නේ නැහැ. විශේෂයෙන් සෞඛ්‍ය ඇමතිවරයා මෙය දකුණු පළාතට පමණක් තියෙන දෙයක් කිසා අවධානය යොමු නොකරනවානම් එය මෙම රෝගය උග්‍ර වීමට හේතු විය හැකියි. දවසකට මෙම රෝගයේ රෝග ලක්ෂණ නිසා පාසල් සිසුන් 10 ක් 15 ක් නිවෙස් වලට යවනවා, ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය පාලනය වනතුරු දකුණු පළාතේ පාසල් වසා දමන්න කටයුතු කරන්න කියලා ’’ පැවසීය.