ඉන්දු - ලංකා ධීවර ගැටලුව නිමාකිරීමට පැවති සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ අත්අඩංගුවේ පසු වූ ධීවරයන් 367 දෙනෙකු මේ වනවිට නිදහස ලබා තිබේ. ඒ අතර ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 234 දෙනෙකු හා ඉන්දියාවේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකා ධීවයරයෝ 133 දෙනෙක් ඇතුළත් වෙති.
කෙසේ වෙතත් තවත් ධීවරයන් 97 දෙනෙකු දෙරටේ අත්අඩංගුවේ පසුවෙති. එයට ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයන් 48 දෙනෙකු හා ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 49 දෙනෙක් අයත්වෙති.
පී.ටී.අයි. පුවත් සේවය සඳහන් කළේ ඉන්දීය ධීවරයන් 283 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේත්, ශ්‍රී ලංකා ධීවරයන් 181 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවේත් පසු වූ බවයි.
මේ අතර ඉන්දු - ලංකා ධීවර ගැටලුවේ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බදාදා (22දා) දිනයේදී නැවතත් ඉන්දියාවට පැමිණීමට සූදානම් බවද පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.
මේ අතර දෙරටේ ධීවර සංගම් නියෝජිතයන් අතර හෙට (20දා) ආරම්භවීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡා එළඹෙන 27 වැනිදා තෙක් කල් දැමීමට ඉන්දීය හා ශ්‍රී ලංකා රජයන් එකඟ වී තිබේ. එයට හේතුව සාකච්ඡා සඳහා දෙරටෙන්ම සහභාගී වන පුද්ගලයන් කවුරුන්දැයි යන්න පිළිබඳව තවමත් නිශ්චිතව තීරණය කිරීමට අපොහොසත් වී තිබීම බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඡායාරූපය ද හින්දු ඇසුරෙනි