ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්ව පාකිස්තානු අන්තවාදී සංවිධානයකට පුහුණුව ලබාදෙන බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂය කරන චෝදනා පදනම් විරහිත බවත්, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්මින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ කිසිදු ත්‍රස්තවාදයකට ඉඩක් නොමැති බවයි.
“ ත්‍රස්තවාදයෙන් බැට කාපු රටක් හැටියට එහි වියරුව හා වේදනාව පිළිබඳව ඔය කතා කරන අයට වඩා අපි අවබෝධයෙන් ඉන්නෙ. ලංකාව ඇතුළත ත්රස්තවාදයට මොන ස්වෑපයකින්වත් ඉඩක් නෑ.
ඒක ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය වුණත්, ඊළාම් බෙදුම්වාදී ත්‍රස්තවාදය වුණත්, එහෙම නැත්තම් අල්කයිඩා ත්‍රස්තවාදය වුණත් ඔය කියන කිසිම ආකාරයක ත්‍රස්තවාදයකට ශ්‍රී ලංකාවෙ ඉඩක් නෑ.
එහෙම සහයෝගයක් දෙන්න ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන කිසිම ආයතනයක් පෙළඹිලා නෑ. තනිකරම අසත්‍යයි, පදනමක් නැතිව කරන චෝදනාවක්.
අපි කැලෑවල නිරතුරුව නිල සංචාරය කරනවා. අපි නොයන බිම් අඟලක් නෑ. යුද්ධය අවසන් වුණාට පසුව අපි සීමිත ප්‍රදේශයක තමයි පුහුණු වෙන්නෙ. එවැනි තත්ත්වයක් යටතේ අපි ඒ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් ඔහු ‘අද’ ට පැවැසීය.