වීසා රහිතව සති දෙකක කාලයක් සඳහා ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට ලබා දී ඇති පහසුකම යටතේ සාමාජිකයන් 25 දෙනා බැගින් යුත් කණ්ඩායම් ලෙස පැමිණ දිවයින පුරා පිහිටි පාසල්වල සිසුන්ට කඩදාසි මල් නිර්මාණය කරන ආකාරය පුහුණු කර දිනකට රුපියල් 10,000කට වැඩි ආදායමක් ඉපයීමේ ජාවාරමක් මේ දිනවල සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය පවසයි.
එම සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය යටතේ මේ වනවිට කොළඹ, ගාල්ල, මහනුවර, අනුරාධපුර ආදි දිස්ත්‍රික්ක බෙහෝමයක පිහිටි පාසල්වල මෙම වැඩසටහන සිදුකරගෙන යන බවයි.
කඩදාසි මල් සැකසීමට අවශ්‍ය කඩදාසි දෙකක්, ඉඳිකටුවක්, මල් මෝස්තර සහිත රූප කොළයක් බැගින් ලබා දී රුපියල් 450 ක මුදලක් එක් සිසුවෙකුගෙන් අය කරගැනීම මෙහිදී සිදුවන බවත්, මෙම තත්ත්වය තුළ ඉන්දියාවේ රැකියා විරහිත බොහෝ පිරිසක් දිවයිනට පැමීණ ආදායම් උපයාගෙන යෑමේ අවදානමක් තිබෙන බවත් සභාපතිවරිය ප්‍රකාශ කළාය.
මෙම වැඩසටහන බස්නාහිර පළාතේ පාසල්වල සිදුකිරීම සඳහා ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකු ඉකුත් දිනයකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ සිටි අවස්ථාවේ තමා සමග කතා කළ බවත්, ඔවුන් එරට විශ්වවිද්‍යාල සිසුන් බවට එහිදී සඳහන් කළ බවත් කී හදපාන්ගොඩ මහත්මිය එම අමාත්‍යාංශය ලබා දී ඇති අවසරය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාසල්වල පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන ආකාරයක් දැකිය හැකි බවද සඳහන් කළාය. එම කණ්ඩායම්වල දෛනික ඉලක්කය රුපියල් 10,000 ක් වුවද ඊට වඩා ආදායමක් ඔවුන් උපයන බවද ඇය කියා සිටියාය.