ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ගේ නාමලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීමට ඉන්දියානු රජය සැලසුම් සකස් කරමින් සිටියි.
ඉන්දියාවේ, අභ්‍යන්තර කටයුතු පිළිබඳ කණිෂ්ඨ අමාත්‍යවරයෙකු වන කිරෙන් රිජීජු පවසා සිටියේ, විවිධ අමාත්‍යාංශ යටතේ උපදෙස් ලබාගනිමින් මේ සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කරමින් සිටින බවය.
මිට වසර තුනකට පෙර දිල්ලි නගරයේදී වෛද්‍ය සිසුවියක සමූහ දූෂණයට ලක්වූ සිදුවීමේ සිට ඉන්දියාව තුළ සිදුවූ ස්ත්‍රී දූෂණ හා කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැඩි දඬුවම් පැමිණවීමක් එරට සමාජය විසින් ඉල්ලා සිටින ලදී.
එමෙන්ම, ස්ත්‍රී දූෂණයට එරෙහිව නීති බලාත්මක කරන ලෙසටද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
නමුත්, ඉන්දියාව පුරා තවදුරටත් කාන්තාවන් හා ළමයින් ඉලක්ක කරමින් සිදුවන ප්රචාණ්ඩක්රියා හා දූෂණ සිදුවීම්වල කිසිදු ආකාරයේ අඩුවීමක් දක්නට නොලැබුණි.
මේ තත්ත්වය තුළ රජය විසින් ගෙන ඒමට උත්සාහ කරන මෙම නාමලේඛනයේ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ගේ නම්, ලිපින, හා වත්මන් දුරකථන අංකයන්ද ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිත බව කියයි.
පීඩා කිරීම, දූෂණයට තැත්කිරීම සහ බරපතල දූෂණය යන අපරාධ යටතේ මොවුන් වර්ග කිරීමටද මෙම නාමලේඛනය යොදා ගන්නා බවත්, එහි ළමා අපයෝජනයන්ට යොමු වූවන්ගේ තොරතුරුද ඇතුළත් කිරීමට නියමිත බවත් කියයි.
මෙවැනි නාම ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම තුළින් පිට පිට ස්ත්‍රී දූෂණයන්ට යොමුවන්නන් හා එවැනි අපරාධයකට මුල් වරට යොමුවන්නන්ගේ සිත් තුළ එවැනි ක්‍රියාවකට යොමු වීම සඳහා බියක් හා චකිතයක් ඔවුන්ගේ සිත් තුළ ඇති වන බවත්, සාමාන්‍ය සමාජයටද එම නාමලේඛනය හරහා පහසුවෙන් මෙවැනි පුද්ගලයන්ගේ තොරතුරු සොයාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.