ඉතාලිය වෙත පසුගිය බදාදා ඇති වූ දරුණු භූ කම්පනයෙන් දැඩි අලාභානි හා ජීවිත හානි සිදුවූ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ඉතාලි රජය ක්‍රියාකර තිබේ.
ඉතාලි අගමැති මැට්ටියෝ රෙන්සි විසින් විනාශයට පත්වූ පළාත් යළි ගොඩනැගීම සඳහා යූරෝ මිලියන 50ක අරමුදල් ලබාදීමට පොරොන්දු වී ඇත.
අද උදෑසන වනවිට භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 250කට අධික බව තහවුරු වී තිබුණි. එමෙන්ම, තවත් 365කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවද එරට රෝහල් ආරංචි මාර්ග පවසා තිබුණි.
තවදුරටත් සහන කණ්ඩායම් විසින් මුදවාගැනීමේ මෙහෙයුම් සිදුකළත් මේ වනවිට සුන්බුන් අතර සිරවී සිටින පිරිස්වල ජීවිත සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
රික්ටර් පරිමාණ 6.2ක් ලෙස වාර්තා වූ ප්‍රධාන භූ කම්පනයන් පසුව මේ වනවිට ප්‍රබල තත්ත්වයේ භූ කම්පන ඇතුළු පසු කම්පන රැසක් සිදුවීම නිසා සහන මෙහෙයුම්වල නිරත 5,000ක පමණ සහන කණ්ඩායම්ද දැඩි අවදානමක් හා පරිශ්‍රමයක් දරමින් එම කටයුතු සිදුකළ බවද වාර්තා විය.
රට යළි ගොඩනැගීමේ අරමුදල්වලට අමතරව එම ජනතාව රජයට ගෙවිය යුතු සියලු බදු කපා හැරීමටද අගමැතිවරයා කටයුතු කර තිබේ.
ඉතාලිය තුළ පවතින පෞරාණික නිවාස දැවැන්ත කළුගල් ආදිය යොදා සකසා ඇති බිත්ති හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය වැඩි වී ඇති අතර, ඉතාලියට යෝග්‍ය නිවාස ක්‍රමයක් ගැනද මේ භූ කම්පනයත් සමග සාකච්ඡා වෙමින් පවතී.
කෙසේ වෙතත්, සම්පූර්ණයෙන්ම භූ කම්පනවලට ඔරොත්තු දිය හැකි නිවසක් ගැන සිතීම විහිළුවක් බවද අගමැතිවරයා පවසා ඇත.