ඇවන්ට්ගාඩ් නෞකාවේ තිබෙන ගිනිඅවි සඳහා ශ්‍රී ලංකා ජනරජය මගින් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඇවන්ට්ගාඩ් සමාගම මගින් රුපියල් මිලියන 475ක හිඟ මුදලක් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත අයවිය යුතු බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්ථාවර නියෝග 23(2) යටතේ පසුගියදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඊයේ (21දා) අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
ඇවන්ට්ගාඩ් ආයතනය සතු පාවෙන අවි ගබඩාවේ ගබඩාකර ඇති අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරපත් ලබාදීම සිදුනොකර ඇති බවත්, ඒ හේතුවෙන් එම ආයුධ ප්‍රමාණය හෝ ඒවා කුමන රටවල ආයුධද යන්න හෝ පිළිබඳව ලියකියවිලි ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොමැති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඇවන්ට්ගාඩ් සමාගමේ පිරිවැටුමෙන් 18% ක ප්‍රතිශතය රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත ගෙවීමේ ගිවිසුම අනුව රුපියල් මිලියන 1014ක මුදලක් ලැබී තිබෙන බවත්, රුපියල් මිලියන 475ක හිඟ මුදලක් අයවිය යුතු බවත් රක්නා ආරක්ෂක ලංකා සමාගම වාර්තාකර ඇතැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
මුහුදු ආරක්ෂක නිලධාරීන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඇවන්ට්ගාඩ් සමාගමට කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී නැගී සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ, මෙය ඉතා විශාල වංචාවක් බැවින් මේ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීමට පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙසය.
විවාදයෙන් පසුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ වෙනුවෙන් පත්කර මේ පිළිබඳව වැඩිදුරටත් කටයුතු කළ යුතු යැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේය.
ඒ පිළිබඳව අද (22දා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ හැකියැයි එහිදී කථානායකවරයා දැනුම් දුන්නේය.