නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට ආසන්න මුහුදේ දින කිහිපයක් තිස්සේ නැංගුරම් ලා තිබූ ඇවැන්ට්ගාඩ් නෞකාව පෙරේදා (13දා) පස්වරුවේ ගාල්ල වරාය වෙත ගෙන එන ලදී.
ගාල්ල වරාය වෙත ගෙන ආ ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් වරාය පොලීසිය විසින් මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතා පැවසීය.
සුඩානයේ සිට රතු මුහුද ඔස්සේ ලංකාව බලා එමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉකුත් 5 වැනිදා මෙම නැව අත්අඩංගුවට ගෙන තිබුණි. නැව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගිනිඅවි 816 ක්, පතරොම්, ආරක්ෂිත හිස් වැසුම්, ආරක්ෂිත කබා ආදිය සොයාගෙන තිබුණි. ඉන්පසුව නාවික හමුදාව විසින් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් දොළහක් පමණ දුරදී ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු විසින් ගාල්ල වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මූලික විමර්ශන ආරම්භ කෙරිණි.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්/ රවිඳු දීයගහගේ/ ජිනේෂ් නානායක්කාර