වර්තමාන ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කටයුත්ත ඉදිරියට දමා ගත්තත් මුලින්ම සිදුකළ යුතුව තිබුණේ ජනතාවගේ ජීවත්වීමේ අමාරුකම්වලට උත්තර සෙවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා අද (30දා) විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ආ යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව බවත්, එහෙත් ආණ්ඩුව සියලුම දේ පටලවාගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට තම කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වුවත් මුළු කණ්ඩායමම එතැනට නොදමන ලෙසත්, තම කණ්ඩායම කාගෙන්වත් මුදල් ලබාගෙන නොමැති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.