ඇඹිළිපිටියේ සාදයක් අතර තුරදි ඇති වු ගැටුමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර යළි ගොඩ ගෙන පරීක්ෂණයක් කරන්නේද නැද්ද යන්න පිළිබදව නියෝගයක් හෙට (03දා) ලබාදෙන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (2දා) පැවසිය. මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසුවේ ඊට අදාළ නඩුව අද (02දා) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේදීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතීඥ වරයා අධිකරණයට පවසා සිටියේ රත්නපුර මහ රෝහලෙන් ලබා දි ඇති මරණ පරික්ෂණ වාර්තාවේ සහ සාක්ෂි අතර යම් පරස්පරතාවයක් ඇති බවත්, එනිසා මියගිය ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර යළි ගොඩ ගෙන කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ නැවත මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
සැකකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ද ඊට විරෝධතාවයක් නොදැක්විය. ඒ අනුව කරුණු සැලකිල්ලට ගත් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිරුර මිහිදන් කළ ස්ථානයට ආරක්ෂාව සපයන ලෙසත්, මරණය ගොඩ ගෙන නැවත පරීක්ෂණයක් පවත්වන්නේද නැද්ද යන්න පිළිබද තීන්දුවක් හෙට (03) දින ලබාදෙන බවත් පැවසීය.
සුරියවැව නුවන් ජයසේකර/ඇඹිලිපිටිය විජය විදානපතිරණ