ඇමෙරිකාවේ, වර්ජිනියා ප්‍රාන්තයේදී WDBJ7 රූපවාහිනී මාධ්‍යවේදීන් දෙදෙනාට වෙඩි තැබූ වෙස්ටර් ෆ්ලැනගන් ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමා පුපුරා යෑමට ආසන්නව සිටි බව ඇමරිකාවේ ABC මාධ්‍ය ආයතනයට ෆැක්ස් පණිවුඩයක් යවා පවසා ඇත.
එම රූපවාහිනී ආයතනයේම සේවය කර ඇති ඔහු පසුව ඉන් ඉවත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, ඔහු එම ෆැකැස් පණිවුඩයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ තමා සමලිංගිකයෙක් සහ කළු ජාතිකයෙක් වීම හේතුවෙන් රාජකාරියේදී විවිධ පීඩාවන්ට ගොදුරු වූ බවයි.
ඔහු සේවයෙන් ඉවත් කිරීමට හේතු පවසන අදාළ රූපවාහිනී ආයතනයේ කළමනාකාරවරයා පවසන්නේ, නිතර අසතුටින් සිටි ෆ්ලැනගන් සමග සේවය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වූ නිසා ඔහු ඉවත් කළ බවයි.
WDBJ7 රූපවාහිනී සේවයේ වාර්තාකාරිනියක වූ ඇලිසන් පාකර් හා කැමරා ශිල්පී ඇඩම් වෝඩ් මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඔවුන් සජීව රූපවාහිනී වැඩසටහනක් සිදුකරන අවස්ථාවේදීය.
නිවේදිකාව සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ආගන්තුක කාන්තාවක් සමග සාකච්ඡා කරන අතරතුර එක්වරම මතු වූ ෆ්ලැනගන් වෙඩි තැබීම සිදුකර ඇත. එහිදී, ඔවුන් කෑකෝගසන හඬ මෙන්ම, කැමරාව බිම වැටෙමින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාවම රූපගත වන ආකාරයද එම සජීව රූපරාමුවල දැකිය හැකිය.
මෙම ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වා ඇති ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පවසා ඇත්තේ එය තම හදවත බිඳ දැමූ සිදුවීමක් බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු පළා යමින් සිටි ෆ්ලැනගන්ද වෙඩි තැබීමකින් සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය කියයි.