ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති නව ගොඩනැගිලි සංකීර්ණය තුළ ඇමෙරිකානු මැරීන් (Marine) භටයන්ගේ නවාතැන් පහසුකම්, සහායක ගොඩනැගිලි සහ තානාපති කාර්යාල ප්‍රජාවට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සහිත බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ විදේශ ගොඩනැගිලි මෙහෙයුම් කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය අධ්යක්ෂ විලියම් මොසර් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ගොඩනැගිලි සංකීර්ණය තානාපති කාර්යාල වත්මන් පරිශ්‍රයේ සහ යාබද ඉඩමක ඉදිකෙරෙනු ඇති අතර, එය අක්කර 5.7ක භූමිභාගයක් බවද නිවේදනය කරයි. එමෙන්ම, මෙමගින් තානාපති කාර්යාල කාර්යමණ්ඩලයට ආරක්ෂිත, තිරසාර සහ නූතන කාර්යාල සංකීර්ණයක් හිමිවනු ඇති බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ් නගරයේ ZGF Architects, LLP හි සැලැස්මක් යටතේ සහ වොෂින්ටන් ප්‍රාන්තයේ ස්පොකෙන් නගරයේ Integrus Architecture යන සමාගමේ අධීක්ෂණය යටතේ මෙම ගොඩනැගිල්ල ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරී නගරයේ Caddell Construction Company විසින් ඉදිකිරීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
1999 සිට මේ දක්වා දෙපාර්තමේන්තුවේ කැපිටල් සික්යුරිටි කන්ස්ට්‍රක්ෂන් වැඩසටහන් යටතේ විදේශීය ගොඩනැගිලි මෙහෙයුම් කාර්යාංශය විසින් තානාපති කාර්යාල 133ක් නිමවා අවසන් කර ඇති අතර, තවත් එවැනි ඉදිකිරීම් 52ක වැඩ සැලසුම් කරමින් හෝ ඉදිකරමින් පවතින බවද එහි සඳහන් වෙයි.
එම නිවේදනයෙන් පෙන්වාදෙන පරිදි, විදේශීය ගොඩනැගිලි මෙහෙයුම් අංශයෙහි මූලික අරමුණ එක්සත් ජනපද රජය නියෝජනය වන පරිදි සුරක්ෂිත හා ආරක්ෂාකාරී ක්‍රියාකාරීත්වයෙන් යුතු ගොඩනැගිලි සත්කාරක රටවල ඉදිකිරීම් හා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සාක්ෂාත් කරගැනීම සඳහා සිය කාර්ය මණ්ඩලයට සහායවීම බව කියයි.
මෙම ගොඩනැගිලි ඇමෙරිකානු අගයන්, උසස් ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු ශිල්පය, තාක්ෂණය, කල් පවත්නා බව, කලාව හා සාහිත්‍ය නිරූපණය වන පරිදි නිර්මාණය වනු ඇති බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.