තමන් විසින් පත්කළ අමාත්‍යවරුන් මාර්ගයෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම හා අධීක්ෂණය ජනාධිපතිවරයාගේ රාජකාරිය වන අතර, ඉන් ඔබ්බට යෑමට ඔහුට හැකියාවක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසා සිටියි.
ඔහු මේ බව පවසා සිටියේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී අද (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා,
“විධායක ජනාධිපතිවරයා විදිහට ජනාධිපතිතුමාට පුළුවන් ජාතික ආර්ථික සභාව අධීක්ෂණය කරන්න. ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට මැදිහත් වෙන්න. නමුත් එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා අපි ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළා කියලා. ඒ නිසායි මෙහෙම හරි අද අපි ඉන්නේ. කොහොමත් මේ ක්‍රමය යටතේ කාටවත් තනියම රටත් පාලනය කරන්න බෑ. ජනාධිපතිවරයාට මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න වෙන්නේ එතුමා විසින් පත්කරපු ඇමතිවරු මාර්ගයෙන්. ඒවා අධීක්ෂණය කිරීම තමයි එතුමාගේ රාජකාරිය. එතනින් ඔබ්බට යන්නට එතුමාට පුළුවන්කමක් නෑ. අපි ආඩම්බරකමට කියනවා අපි අර්ථිකය කළමනාකරණය කළා කියලා. ඒ ගැන කනගාටුවෙන්න, දුක් වෙන්න කාරණයක් නෑ. ඊළඟ අවුරැදු තුනේදී අපි ඊටත් වඩා කළමනාකරණය කරනවා. සුසිල් ප්‍රේමජයන්ත් මහත්මයා කියන දේවල් පිළිබඳ අපි ලොකුවට සලකන්නේ නෑ. එතුමා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ නැතිව එක පැත්තක තියාගෙන වැඩ කරනවා නම් මේ රට තවත් හොඳට සංවර්ධනය කරන්න පුළුවන්” යැයි සඳහන් කළේය.