එක්සත් ජාතික පක්ෂ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීම සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා කල්දැමීමට තීරණය කර තිබේ.
එයට හේතුවී තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා වියයුතු බවට සීමාවක් පැනවී තිබීමෙන් ජාතික ආණ්ඩුව තුළ ඊට වඩා වැඩි අමාත්‍ය ධුර ප්‍රමාණයක් පත්කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය අත්‍යවශ්‍ය වීම නිසාය.
අමාත්‍යවරුන් 30කට වඩා පත්කරන්නේ නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගත යුතු අතර, මේ අනුව සැප්තැම්බර් පළමු වැනිදා රැස්වන පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙලෙස ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීමට අනුව 03 වැනිදා පාර්ලිමේන්තුව තුළ විවාදය සිදුකළ හැකි බවට අග්‍රාමාත්‍යවරයා අනුර කුමාර දිසානායක මහතාට දන්වා තිබේ.
මේ අනුව ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ප්‍රමාණය පිළිබඳව එදින දිනය පුරා විවාදය පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව පළමු වැනිදා රැස්වුවත් දෙවැනිදා රැස්නොවන අතර, එයට හේතුවී තිබෙන්නේ සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය යෙදී තිබීමයි.
කෙසේ වෙතත් මේ වනවිට අමාත්‍යවරුන්ගේ ප්‍රමාණය පිළිබඳව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට හිමිවන අමාත්‍ය ධුර ප්‍රමාණය පිළිබඳව පක්ෂ දෙක තුළම තිබූ මත ගැටුම් අවසන් වී තිබෙන බවද වාර්තා වේ.
මේ අතර ජාතික ආණ්ඩුවට සහාය දක්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇරුමුගම් තොන්ඩමාන් මහතා සහ ඊ.පී.ඩී.පී. සංවිධානයයේ නායක ඩග්ලස් දෙවානන්දා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පොරොන්දු වී තිබේ. මේ පිළිබඳව ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබේ.