අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මේ වසර තුළ සිදු නොකිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාවකට පැමිණ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙරදී එකඟවී තිබුණද, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් අතර ඔවුන්ට ලබාදෙන අමාත්‍යාංශ පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකිවීම තුළ මෙලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුනොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර අතර සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යධුර අතර වෙනස්කම් සිදුකිරීමට එකඟව තිබුණද, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් විසින් ඉල්ලා සිටීමත්, එයට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විරෝධය දැක්වීමත් එයට හේතු වී තිබේ.
මේසම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු 'අද' ට පැවසුවේ මෙම ගැටලුව හේතුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය අප්‍රේල් මාසයේදී සිදුකරන බවට ප්‍රකාශ වුවද එය සිදු නොවනු ඇති බවයි.
ආණ්ඩුවේ වෙනස්කම් සිදුවිය යුතු වුවද ඒසඳහා සියල්ලන්ගේම එකඟතාවක් නොමැති නම් පවතින ආකාරයට ආණ්ඩුව ඉදිරියට යා යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
“කැබිනට් සශෝධනයට අපි එකඟයි. නමුත් ජනාධිපතිවරයාගේ පක්ෂයේ ඇමතිධුර අතර වෙනසක් ජනාධිපතිවරයා සිදුකරන්නත්, අගමැතිවරයාගේ අමාත්‍යධුර අතර වෙනසක් අගමැතිවරයා සිදුකරන්නත් මුලින් කතාකරගත්තේ. එහෙම වුණත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ ඇමතිකම් ඉල්ලන්න පටන්ගත්තා.
අපි ඒකට එකඟ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට විරුද්ධව වැඩකරලා, ආසන පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිකම් ඉල්ලද්දි අපට ඒකට එකඟ වෙන්න බැහැ. මේවගේ ලැජ්ජා නැති අය එක්ක ආණ්ඩු කරනවාට වඩා හොඳයි පැත්කට වෙලා ඉන්න එක" යැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.