රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුණු යතුරුපැදියක ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා බරපතළ ලෙස තුවාල සිදුව අද (24දා) දින සවස ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර තිබිණි.
ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝමීටරයකට ආසන්න දුරකින් වූ ඉඟිනිමිටිය පලුගොල්ල මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් එකම පවුලේ මව වන ඩබ්ලිව්.එම්. නන්දා මාලනී, පියා වන එච්.එම්.අනුර සෙනරත්, හත් හැවිරිදි දියණිය වන හිරුණි සත්සරණිකා සහ සිවු හැවිරිදි ගයන්ත ඉඳුනිල් යන අය බරපතළ ලෙස තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ බව ආණමඩුව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පිරිසේ කාන්තාව සිවු මස් ගැබිනියක් බවද කියයි. ආණමඩුව රෝහලේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ අනතුරින් සිවු දෙනාගේම පාදවල අස්ථි බිඳී ගොස් දරුණු ලෙස තුවාල ලබා සිටි බවයි .
මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබූ සිවුදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි බවත්, අධික වේගයෙන් පැමිණි කැබ් රථය එකවර යතුරුපැදියේ හැපී, යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත් කියයි.
අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නමැති අයෙකු පොලීසියට බාර වී තිබිණි. එසේම අනතුරට සම්බන්ධ කැබ් රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් එකක් බවද පොලීසිය පවසයි.