කැළි කසළ බැහැරකිරීමේ ක්‍රියාවකට අදාළ පැනයක් ඇසීම නිසා ඉන් උරණ වූ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සිය නිවසේදී මාධ්‍ය‘වේදීන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.
මුතුරාජවෙල වගුරු බිමට කැළි කසළ බැහැර කිරීමට විරෝධය දක්වන මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ නාගොඩ ශාඛාව නියෝජනය කරන පිරිසක් ඊයේ (08දා) උදෑසන සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමග සාකච්ඡාවකට පැමිණ ඇති අතර අදාළ සාකච්ඡාව නිමවීමෙන් පසු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ මෙම බැණ වැදීම සිදුකර තිබේ.
අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙක් වත්තල බෝපිටිය ප්‍රදේශයේ කුණු දැමීම පිළිබඳව ජනතාව අමාත්‍යවරයාට චෝදනා කරන බව පැවසීමත් සමගම අමාත්‍යවරයා මෙම බැණ වැදීම සිදුකර තිබේ.
එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇමතීම සඳහා අසභ්යවචනයක් කියා ඇති අතර 'ඕයි', 'තමුසේ','අයිසේ' යන වචනද භාවිත කර තිබේ.
එසේම අමාත්‍යවරයා සෙසු මාධ්‍යවේදීන්ටද දෝෂාරෝපණය කළ අතර, ''එන්න එපා මේ ගේට්ටුවෙන් මෙහාට, කරුණාකරලා යන්න..යන්න...'' කියමින් මාධ්‍ය වේදීන්ව ඉවත් කිරීමටද කටයුතු කළ අතර අමාත්‍යවරයාගේ ආධාරකරුවෝද අමාත්‍යවරයාගේ කීමට සහාය දක්වමින් ක්‍රියාකළහ.
මේ අතර, මුතුරාජවෙල වගුරුබිම්වලට කොළඹ කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පැවසුවේ උද්ඝෝෂණයක් සිදුකර එම කටයුත්ත නතර කරන ලෙසය.
ඊට අකමැති වූ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන්ට පසුව අමාත්‍යවරයා විසින් මානව හිමිකම් නඩුවක් ගොනු කොට එම කටයුත්ත නතර කිරීමට කටයුතු කරන ලෙස උපදුස් ලබා දුන්නේය.
රුක්මන් කඳාන/ වත්තල - මාලිකා දමයන්ති