ඇමෙරිකාවෙන් ගෙන්වූ ඇපල්වල මිනිස් ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු බව පවසා රටපුරා වෙළෙඳුන්ගෙන් එකතු කරගත් ඇපල් තොගවල සාම්පල් මෙතෙක් පරීක්ෂා කර නොමැති බවත්, මේ නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මට්ටමින් ගබඩා කර තිබෙන සියලුම ඇපල් මේ වනවිට විනාශ වී තිබෙන බව ඇපල් ආනයනකරුවෝ හා සුළු ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
සමාගම් මට්ටමෙන් මුද්‍රාතබා තිබෙන, ශීතකරණ උපකරණ නොමැති ගබඩාවල සියලුම ඇපල්ද විනාශ වී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල්වල විෂකාරකයක් අඩංගු බව සඳහන් කරමින් පසුගිය 26 සහ 27 යන දිනවල රට පුරා වෙළෙඳ සැල්වල සහ ආනයන ආයතනවල තිබූ සියලුම ඇපල් මහජන පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
එලෙස අත්අඩංගුවට ගත් ඇපල් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් තිබෙන ගබඩාවල සහ ඇපල් ගෙන්වන සමාගම් සතු ගබඩාවල තැන්පත් කර මුද්‍රා තබා තිබුණි.
එලෙස මුද්‍රා තබා සාම්පල් පරීක්ෂා කර විෂකාරක අඩංගු නොමැති ඇපල් යළිත් වෙළෙඳුන් වෙත මුදාහැරීමට සැලසුම් කර තිබුණද, මෙතෙක් එම සාම්පල් පරීක්ෂා කර නොමැති නිසා ගබඩාවල තිබූ ඇපල් සියල්ලම මේ වනවිට විනාශයට පත් වී තිබෙන බව වාර්තා වේ .
ඇමෙරිකාවෙන් මෙරටට ගෙන්වූ ඇපල්වල විෂකාරක අඩංගුද නැද්ද යන්න කිසිදු වගකිව යුතු ආයතනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආහාර පනත යටතේ මෙම ඇපල් අත්අඩංගුවට ගෙන තිබෙන බැවින් ඇපල්වලට වන්දි ඉල්ලා හෝ වෙනත් නඩුවක් පැවරීමට වෙළෙඳුන්ට නොහැකි වී තිබේ.
%අද^ මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් සිදුකළ විමසීමේදී සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ඇපල්වල සාම්පල් පරීක්ෂා කිරීමට අවශ්‍ය අවසරය ඉල්ලා ඇතත් මෙතෙක් ඒ සඳහා අවසර ලැබී නොමැති බවයි.
කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හැර අනෙකුත් ප්‍රාන්තවලින් ගෙන්වූ බවට තහවුරු වී ඇති ඇපල් තොග ප්‍රමාණයක් ගොවීන්ට මුදාහැර ඇති බවත්, එහෙත් අනෙකුත් සියලුම ඇපල් ගබඩා තුළ තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.