ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් අතින් ලිංගික අතවරවලට ලක්වූ බවට සාක්ෂි තිබියදීත් ඇතැම් දෙමළ සරණාගතයන් බ්‍රිතාන්‍යයේ සිට ආපසු ශ්‍රී ලංකාවට යවනු ලැබීම පිළිබඳව සොයා බලන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පැවසූ බව ගාර්ඩියන් පුවත්පත උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
ලන්ඩනයේදී ඇරඹි 'ලිංගික හිංසනය නතර කිරීමේ' ලෝක සමුළුවට පැමිණි දෙමළ සරණාගතයන් පිරිසක් සහ ඔවුන්ගේ නීතිඥයන් විසින් සමුළුව වෙත කළ පැමිණිලි කිරීමක් පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා මෙසේ අදහස් දක්වා ඇති බව පැවසෙයි.
එමෙන්ම, සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ විශේෂ නියෝජිතවරියක ලෙස මෙම සමුළුවට සහභාගි වූ ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලි මේ අවස්ථාවේදී පවසා ඇත්තේ ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කතුන් හමුවී ඔවුන්ට සවන්දී අදාළ කරුණු පිළිබඳව බ්‍රහස්පතින්දා මහකොමසාරිස් අන්තෝනියෝ ගතෙරෙස් හමුවූ විට සාකච්ඡා කරන බවය.
ශ්‍රී ලංකා හමුදාවන් අපකීර්තියට පත් කිරීමේ හා මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීමේ අරමුණින් මෙවැනි චෝදනා දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත අන්තර්ජාතික ප්‍රජාව වෙත ඉදිරිපත් කෙරෙන බව ලන්ඩනයෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.