වත්මන් දේශපාලනයේ බෝහෝ දේශපාලඥයන්ට උරුම තැනක් යුක්රේන ජනතාව විසින් එරට දේශපාලඥයෙකු වෙත උරුමකර දුන් පුවතක් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එය සිදුව ඇත්තේ, යුක්රේනයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි යුක්රේන ජාතිකයන් පිරිසක් අතිනි.
ඒ අනුව, මෙම උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටි එරට දේශපාලනඥයකු අල්ලා කසල බහාලනයකට වීසි කරමින්, ඔවුනට උරුම නිසි තැන ලබාදුන් බව පවසා ඇත.
යුක්රේනයේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති වික්ටර් යනුකෝවිච්ගේ උපදේශකයකුව සිටි එරට ආර්ථික සංවර්ධන පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන විතාලි ෂරව්ස්කි මෙසේ උද්ඝෝෂකයන් විසින් කසළ බඳුනකට වීසි කොට ඇති බව පැවසෙයි.
මෙම සිදුවීමට මුහුණ දුන් විතාලි එරට රූපවාහිනියට පවසා ඇත්තේ එම සිදුවීමෙන් තමාට ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවක් ඇතිවූ බවයි.
යුක්රේනයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් පාලනය කිරීම සඳහා වන නීති දැඩි කෙරෙන කෙටුම්පතක් සම්පාදනය කිරීමට ෂරව්ස්කි මූලික වී කටයුතු කළ පුද්ගලයෙකු බව කියැවෙයි.