ගමේ දේශපාලනය කරන ඇතැම් දේශපාලඥයන් නගරයට පැමිණි පසු මුල අමතක කරන බවත්, මැතිවරණවලදී ඔවුන්ට එහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11දා) පැවසීය.
බලය තුළ දූෂණය වීම දේශපාලනඥයන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් බවත්, බහුතරයක් දේශපාලනඥයන් එය තේරුම්ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට තුන්වැනි විධායක ජනාධිපතිවරයා වූ ඩී.බී. විජේතුංග මහතාගේ ජන්ම ශතසංවත්සර ගුණ සැමරුම මේ මස 15 වැනිදාට යෙදෙන බැවින් එය සමරා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ විජේතුංග මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීම සඳහා පැවති උත්සවයේදී හෙතෙම මේ බව කීය.
“බලය තුළ දූෂණය වීම දේශපාලනඥයන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් විදියටයි මා දකින්නේ. ලෝක දේශපාලනය තුළත්, අපේ ජාතික දේශපාලනය තුළත් ගෙවීගිය දශකයේ ඉන් බැහැරව සිටියේ ඉතා සුළු පිරිසක්.
දේශපාලනඥයන් ගමේ සිට කොළඹට පැමිණි පසු කනබොන විදිය, අඳින පලඳින විදිය වෙනස් වෙනවා. ගමේ ඇඳගෙන හිටපු සරල ඇඳුම වෙනස් කරගන්නවා. නාගරික සමාජයේ නොගැළපෙන ඇතැම් සංස්කෘතීන්ට ඇතැම් හිතවතුන්ට සහ ඇතැම් ආයතනවලට ළංවෙනවා. ඒ තුළ ගම අමතක වෙනවා. ඡන්දදායකයා අමතක වෙනවා. තමන්ගේ ප්‍ර‘දේශය අමතක වෙනවා. මැතිවරණයකට ගියාම ඒකෙ ප්‍රතිඵලය අත්වෙනවා.
ඩී.බී. විජේතුංග මහතා වැනි කෙනෙක් ගැන කතා කරන විට ඔහු එවැනි චෝදනාවක් ලක්වෙන විදියට වැඩ නොකළ කෙනෙක් බව පැවසිය හැකියි. සෑම විටම යහපත් දේ, මානව හිතවාදී බව, මිනිසත්කම, සැබෑ ලෙස ජනතාවට සවන්දීමේ ගුණය එතුමාට තිබුණා. එතුමා බලය තුළ දූෂණය වූ කෙනෙක් නෙමෙයි. බලය රටේ ජනතාවගේ යහපත සඳහා විනා තමාගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා පාවිච්චි නොකළ ආදර්ශවත් දේශපාලන චරිතයක්" යනුවෙන්ද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දේශපාලනඥයෙකු රටේ කොයිතරම් ජනප්‍රිය වුවද පාර්ලිමේන්තුව තුළ සෑම කොනා සමගම සුහදව සිටිය යුතු බවත්, ඩී.බී. විජේතුංග මහතා ඒ ආකාරයට කටයුතු කළ අයෙකු වූ බවත්ය.
පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරය තමා පුරුදු වූයේඩී.බී. විජේතුංග මහතා සමග එකට වැඩකිරීමෙන් බවත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තමා සමග විජේතුංග මහතා සහයෝගයෙන් කටයුතු කළ බවත් ඒ මහතා කීය.