මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ළමුන් පිරිසක් හම්බන්තොට ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් යළි එමින් සිටියදී ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් ළමුන් 20 දෙනෙකු පමණ ඊයේ (05දා) රාත්‍රියේ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය යද්දෙහිගේ මහත්මිය පැවසුවාය.
ඉන් සිසුන් 15 දෙනෙකු දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, කිසිදු සිසුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද යද්දෙහිගේ මහත්මිය පවසා සිටියාය.
ආහාර විෂවීමක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බව සැක කරන බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල මගින් පියවර ගෙන ඇති බවද එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.