ආසියානු ක්‍රිකට් සංගමයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පසුගියදා (02දා) ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී යෝජනා වී තිබේ.මීට පෙර ආසියානු ක්‍රිකට් සංගමයේ මූලස්ථානය මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර, ඉදිරි වසර 10 තුළදී එය ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද (06දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.සිංගප්පුරුවෙන් බදු සහන හිමිවීමත් සමග එම මූලස්ථානය ලංකාව තුළ ස්ථාපිත කිරීමට මෙරට මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය හිමිව ඇතැයි සුමතිපාල මහතා එහිදී සඳහන් කළේය.
"අසියානු ක්‍රිකට් සංගමය රටවල් 21 සිටින විශාල සංගමයක්. එහි මූලස්ථානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඩුබායි,මොරිෂස් හා සිංගප්පූරුව අතර තරගකාරීත්වයක් පැවතියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළා මේ සඳහා සුදුසුම රට ශ්‍රී ලංකාව බව. අගෝස්තු මස 21 වැනිදා පැවැත්වෙන මහ සභා රැස්වීමට අදාළ යොජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන එම මෙරටදී ස්ථාපිත කිරීමට කටයුතු කරනවා" යැයි වැඩිදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසා සිටියේය.
එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කේන්ද්‍ර කරගනිමින් දඹුල්ල ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමටද කටයුතු යොදා ඇතැයි සුමතිපාල මහතා පැවසීය.
"අපිට මිලියන 50 ක(රු. ලක්ෂ 500ක්) මුදලක් දඹුල්ල ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය සඳහා වැය වෙනවා. අපි එය ටෙන්ඩර් කැඳවා ඩීමෝ සමාගමට ලබාදෙන්න කටයුතු කළා. අගෝස්තු මස 21 වැනිදාට පෙර අදාළ වැඩ කටයුතු නිම කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා. ඒ වගේමයි වසර 10 ක වගකීමක් ඩීමෝ සමාගම අපට ලබාදී තිබෙනවා." යැයි ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.