හදිසියේ ඇති වූ අසාදන තත්ත්වයක් හේතුවෙන් මතුගම, වැලිපැන්න, කටුවැල්ලගොඩ ප්‍රාථමික විදුහලේ සිසුන් 22 දෙනෙකු අද (16දා) උදෑසන මතුගම, වෑත්තෑව රෝහලට ඇතුළත් කර තිබේ.
සමේ ඇති වූ ආසාදන තත්ත්වයකින් එම විදුහලේ 06, 07 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියෝ 12 දෙනෙක් සහ සිසුහු 10 දෙනෙක් මෙලෙස රෝහල්ගත කර සිටිති.
මෙම විද්‍යාලයේ සිසුසිසුවියන් 138 දෙනෙකු පමණ ඉගෙනුම ලබන අතර, පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රීඩා පිටියට ගොස් සිටි අවස්ථාවේදී මෙම ආසාදන තත්ත්වය හටගෙන ඇත.
දළඹුවන් හෝ එවැනි සත්ත්ව විශේෂයක් ස්පර්ශ වීමෙන් මෙම ආසාදන තත්ත්වය හටගෙන ඇතැයි අනාවරණය වී තිබේ.
ආසාදන තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දුන් බවත් වෑත්තෑව රෝහලේ ප්‍රකාශකයෙක් පවසා සිටියේය.
අප මේ පිළිබඳ එම විදුහලේ විදුහල්පති එම්.එම්. මිත්‍රපාල මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, ''මේ දිනවල අප විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් කටයුතු කරගෙන යමින් සිටිනවා. එම උත්සවයේ ආචාර පෙළපාළිය සඳහා සිසුන් පුහුණු කිරීම යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලබනවා. ඊයේ උදෑසන සිට එම ආචාර පෙළපාළියේ පුහුණු වීම සිදුකරමින් සිටින අතරතුර ළමුන් කිහිපදෙනෙක් තමන්ගේ ඇඟ කසන බව පැවසුවා. මේ තත්ත්වය එන්න එන්නම වැඩි වුණා.
පසුව අප ගිලන් රථ ගෙන්වා එම සිසුන් වෑත්තෑව රෝහලට ඇතුළු කරනු ලැබුවා. සිසුන් ආචාර පෙළපාළියට පුහුණු වූ අවට කිසිම අපිරිසුදු තත්ත්වයක් නැහැ. ඒ අවට ගස් කොළන් ඇත්තෙත් නැහැ. අප පාසලේ සිසුන් 138ක් ඉගෙනුම ලබනවා. ඔවුන්ගෙන් සිසු සිසුවියන් 22 දෙදෙනෙකු පමණයි මේ ආසාදන තත්ත්වයට මුහුණ දී තියෙන්නෙ. මා මේ පිළිබඳ මතුගම කලාප කාර්යාලය හා මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් දැනුම් දුන්නා'' යනුවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධිකාරී වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස් මත මතුගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්න විතාන හා මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි / මතුගම - බන්දු තඹවිට