"බැසිල් ඊයේ රිමාන්ඩ් කළා. මගේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම් ගෝඨාභය, සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ වැදගත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. මේක තමයි යහපාලනය. ලංකාවට ආවොත් රිමාන්ඩ් කරාවි කියා බැසිල්ට මම කිව්වා. මහින්ද අයියේ මම වැරැද්දක් කර නැහැ මම ලංකාවට එනවා කියා ඔහු කිව්වා. ඔහුට ඇමෙරිකාවේ සැඟවී ඉන්න තිබුණා. සිල් රෙදි බෙදීමත් දඬුවම් විදිය යුතු වරදක් වෙලා. ඉදිරියේදී සිල් ගැනීමත් වරදක් වේවි." යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (23දා) පෙරවරුවේ මාතලේ, පුරිජ්ජල පිහිටි ශ්රීධම්ම සිද්ධියාරාම ශ්‍රී සංඝ බෝධි පිරිවෙනේදී පැවති උත්සවයක් සභාවක් අමතමිනි.
ශ්‍රී ධම්ම සිද්ධියාරාම භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමල් සංඝාවාසය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය සභාව පැවැත්විණි.
"සියම් මහා නිකායේ අස්ගිරි මහානායක හිමියන්ගේ ආදාහන උත්සවයේ කටයුතු කළ අන්දම අපි දැක්කා. රෝහණවංශ නායක හිමියන්ගේ ආදාහන උත්සවය සිදුකළ හැටි මම දැක්කා. මම ජනාධිපතිව සිටියා නම් ඕවා සිදුකරන්නේ ඉතාමත් උසස් අන්දමටයි.
මහ බැංකුවේ මුදල් බිලියන 41ක් මේ කාලය තුළ වංචා කර තිබෙනවා. ගාල්ල, කොළඹ, අධිවේගී මාර්ගයට වෙන්කළ මුදලට වඩා නව ගුණයකින් වැඩි මුදල් ප්‍රමාණයක් මෙසේ වංචා කර තිබෙනවා. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ." යැයි පැවසීය.
මාතලේ එම්.ඩබ්ලිව්. සෝමරත්න