එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු සිදුකරන ලෙසට ලිඛිත ඉල්ලීමක් ලැබුණහොත් ඒ පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
තමාට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු කරන ලෙසට පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ස්ථාන කිහිපයකදී සඳහන් කර තිබෙන බවද පවසා සිටියේය. එහෙත් තවමත් ලිඛිතව එම ඉල්ලීම සිදුකර නොමැති බවත් ලිඛිතව එවැනි ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන බවද අත්තනායක මහතා පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය කිසිදා හැරදා නොයන බවත් තවමත් තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු බවද ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල නිරතවන ලෙසට පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා සඳහන් කරන කාරණා ගැන පක්ෂයේ කිසිවෙකුත් සමග තමා සාකච්ඡා කර නැතැයිද හිටපු මහ ලේකම්වරයා පවසා සිටියේය.
එවැනි හමුවීමක් සිදුකරනවාද යන්නත් තවමත් තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම අද කළ විමසීමකදී සඳහන් කළේය.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ තිස්ස අත්තනායක මහතා යළි එජාපයට එක්වන්නේ නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට පළමුව එක්වීම වඩාත් සුදුසු බවට පක්ෂයේ වැඩි පිරිසකගේ යෝජනාව වී ඇති බවය.
ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයට සිදුකළ අකටයුත්ත මගහරවා ගැනීම සඳහා ඔහු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔහුගේ උපරිම කැපවීම යෙදවිය යුතු බවත් ඉන් පසු යළි එක්සත් ජාතික පක්ෂයේ තනතුරක් සඳහා යළි එක්වීම වඩාත් සුදුසු බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලයක් යළි තිස්ස අත්තනායක මහතා වෙත ලබාදීම සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ කීපදෙනෙක්පක්ෂ නායකත්වයට විරෝධය පා ඇති බවට ද වාර්තාවේ.
මේ අතර, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතා යළි එජාපයට එක්වීමට අදහස් කරසිටීම පිළිබඳව විරුද්ධ මතයක් ප්‍රකාශ කර නැතත් ඔහු එක්වුවහොත් ඔහුට ලබාදෙන පක්ෂයේ ස්ථානය පිළිබඳවද කිසිවක් ප්‍රකාශ කර නැති බවද වාර්තාවෙයි.