ආපදාව හේතුවෙන් විනාශයට පත්වූ මාර්ග පද්ධති පිළිසකර කිරීමට මූලිකත්වය ලබාදී කුඩා තේ වතු හිමියන්ට තේ දලු, කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ආපදාවෙන් විපතට පත් බදුරලිය ඇතුළු ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (15දා) පැවැති සාකච්ඡාවේදීය.
ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටුණොත් එය රටේ ආර්ථිකයට බලපාන හෙයින් ආපදාවට ලක්වූ කුඩා තේ වතු සහ මාර්ග පද්ධති යථාතත්ත්වයට පත්කරමින් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම කඩිනමින් සිදුකළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ආපදාව හේතුවෙන් විනාශයට පත්වූ ඉඩම්, නිවාස, රෝහල් සහ පාසල් ආදියද කෙටි කලකින් යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබා දුන්නේය.
මෙම පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් නිමකිරීමට ඇති බාධා ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට වජිර අබේවර්ධන, තලතා අතුකෝරළ, සාගල රත්නායක යන අමාත්‍යවරුන්ද හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.